මීතොටමුල්ල ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළට (Full Report)

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළට (Full Report)

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 8:43 pm

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. 

සිදුවූ ආපදාවෙන් නිවාස 145කට හානි සිදුව ඇති අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙක් අවතැන්ව සිටිති.

අපදාවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ 6 දෙනෙකුගේ දේහ කොළොන්නාව රජමහා විහාරයේ තැන්පත් කෙරුණු අතර මියගිය එක ම පවුලේ , සිව් දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.

කොළොන්නාව රජමහා විහාරයේ තැන්පත් කළ අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ  අවසන් කටයුතු සිදුකෙරුණේ, කොළඹ කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී ය.

 – සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව – 

කුණු කන්ද කඩා වැටීමෙන්  අතුරුදන් වූ පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ අද දිනයේත් අඛණ්ඩව සිය මෙහෙයුම්  සිදු කළේ ය.

අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුම්වලදී ගොඩගැනුණු පුද්ගල මළ සිරුර සංඛ්‍යාව 3 කි.
මේ අතර යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවුසවේ, මෙහෙයුම් සඳහා තවදුරටත් ත්‍රවිධ හමුදාවේ භට පිරිස් 1050කට ආසන්න සංඛ්‍යාවක් යොදවා සිටින බවයි.

[quote]ඒ වගේම බැකෝ එක්ස්කවේටර් යන්ත්‍ර 15කට ආසන්න සංඛ්‍යාවකුත් ඩම් ට්‍රක් සහ ටිපර් ඒ හා සමානව ප්‍රමාණයකුත් ඒ අවශ්‍යතා කටයුතු සඳහා යොදවා තිබෙනවා. මෙම කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කුණු කන්ද තවදුරටත් යම් ව්‍යවසනයකට ලක්විය හැකි ද යන්න පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කරනු ලබනවා. යුධ හමුදාව මඟිනුත් අවශ්‍ය පරිදි ඒ කැමරා සවිකරලා ඒවා නිරන්තර නිරීක්ෂණයට ලක්කරමින් පවතිනවා.[/quote]

                           – යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න –

කැණීම් කටයුතු නතර කිරීමේ සූදානමක් ඇති බවට පැතිර යන ආරංචිවල සත්‍යතාවක් තිබේ දැයි, මෙහිදී මාධ්‍ය වේදියෙක් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට හමුදා ප්‍රකාශකවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.

[quote]එහෙම කිසිම ආකාරයකින් නැවැත්විමක් සිදුවෙලා නෑ. මේක සිදුවෙච්ච 14 වෙනිදා හවස සිට මේ වෙනකං ඒ කටයුතු සිදුවෙනවා.මේ කටයුතු ඉදිරියටත් අවසාන වෙනකම්ම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.[/quote]

 – ව්‍යසනය පිළිබඳ ජපන් අගමැති ත් ශෝකය පළ කරයි – 

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම පිළිබඳ සොයා බැලීමට තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් යොමු කරන බව ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවිඩයක් නිකුත් කරමින් ජපන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ විපතට පත් ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළකරන බවයි.

විපතට පත් ජනතාවට යළි සාමාන්‍ය ජීවන තත්ත්වයක් උදාකර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබාදෙන බව ද ජපන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

 – අහිමි වූ දරුවන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුරුන් ද? – 

කසල කන්ද කඩා වැටී පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත හා දේපළ හානි වීම සම්බන්ධයෙන් රජය සෘජුවම වගකිව යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ 2013 වසරේ ජනවාරි 2 දා කුණු කන්දේ කොටසක් කඩා වැටී මීතොටමුල්ල රාහුල විදුහල වසා දැමුණු අතර එහිදී කුණු කන්ද ඉවත් කරන ලෙස ජනතාව ඉල්ලා සිටි බවයි.

රාහුල විද්‍යාලය වසා දැමූ අවස්ථාවේ ඊට විරෝධය පළ කළ ලංකා ගුරු සංගමය එම කුණු කන්ද ඉවත් කර නැවත පාසල විවෘත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පාසල නැවත විවෘත නොකළ බව පවසයි.

 – විපතට පත්ව අවතැන්වූ ජීවිත – 

විපතට පත්ව අවතැන් වූ ජනතාව කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාල පරිශ්‍රයේ තවදුරටත් රඳවා සිටී.

මේ අතර සිද්ධියෙන් අතුරුදන් වූ පිරිස පිළිබඳව හා දේපළ පිළිබඳව පැමිණිලි සටහන් කර ගැනීමට විශේෂ පොලිස් ඒකකයක් මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ පිහිටුවා තිබේ.

මෙම ‍ස්ථානයට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද එම ස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළේ ය.

මෙහිදී අවතැන්වූවන් තාවකාලිකව රඳවා ගැනීමට යොදා ගන්නා මීතොටමුල්ලේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා 2 ක ද පොලිස්පතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර

[quote]ලබන බදාදා වෙනකොට අපි මේක ඉවරකරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පෞද්ගලිකව ඒ ගොල්ලෝ ගන්න සෑම වියදමක්ම රජයේ මුදල් වලින් ප්‍රතිපූරණය කරන්න අතිගරු ජනාධිපතිතුමා නියෝග ලබාදිලා තියෙනවා.[/quote]

 – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් උපදෙසක්- 

මීතොටමුල්ල කසල කන්ද අවට අවදානම් තත්ත්වයේ පවතින නිවාස 130ක පදිංචිකරුවන් ඉවත්කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් උපදෙස් ලබාදී තිබේ.

එහි භූ විද්‍යා හා නායයාම් අධ්‍යන අංශ ප්‍රධානී, ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසුවේ කසල කන්ද අවට අවදානම් කලාපයක් නම්කර ඇති බවයි.

කොළොන්නාව , කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රදේශවල කසල අවුරුදු 30ක් තිස්සේ බැහැර කෙරී ඇත්තේ මීතොටමුල්ලටයි.

2008 වසරේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවක් මත කොළඹ මහනගර සභාවේ කසලත් මී‍තොටමුල්ලට බැහැර කෙරිණ.

අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටි මෙම කසල කන්දට දෛනිකව එක්වන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 800කට ආසන්න ය.

මෙම කසල කන්දේ උස අඩි 300ක් පමණ වේ.

 – කඩිනමින් වාර්තාවක් සපයන්නැයි, ජනපතිගෙන් නියෝග – 

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවු ජීවිත හා දේපළ හානි පිළිබඳව දින 5ක් ඇතුළත පුර්ණ වර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව අද පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය.

මෙම සාකච්ඡාවට අපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් ගැටලුවක් ‍කර නොගන්නා ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

[quote]මේ ස්ථානය තිබෙන අපද්‍රව්‍ය මේ කුණු කන්ද මෙතනින් ඉවත් කිරීඹ පිලිබදව ගතයුතු කඩිනම් වැඩසටහන් පිලිබදව දැන් තියෙන ප්‍රශ්ණයත් එක්ක මෙතනින් එහාට අපි කොහෝමද මේ ජනතාවට සහන සලසලා මේ තියෙනප්‍රශ්ණය විසදා ගන්නේ කියන කාරණාවයි. ඒ අයගේ සුබසාධන කටයුතුත් අනිත් කාරණය විදිහට මේ කැලිකසල ඉවත් කිරී‍මේ කාර්යත් කියන වැඩපිලිවෙල අපි කඩිනම් කරගැනීම තමයි අවශ්‍ය වෙන්නේ ඒ අවට ඉන්න ජනතාවගේ ආරක්සාව සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ සුබසාධණය සදහා ඉවත් කලයුතු පවුල් ඒ ස්ථාන‍යෙන් ඉවත් කිරීම ඒ අයට සුදුසු ස්ථාන ලබාදීම ඒ වගේම මේ ස්ථානය අනතුරු රහිත ස්ථානයක් බවට පත්වනතෙක් ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සියලු ආයතන විසින් කලයුතු කාර්යක් ඉෂ්ඨ කිරීම කියන කරුනු ඒ නිසා මම හිතන්නේ මේ එක් එක් කරුනු සම්බන්ධයෙන් අදාල ආයතන කටයුතු කරනවා වගේම රජය පැත්තෙන් අපි මේ සහන සහ මේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් මුදල්වල කිසිදු අඩුවක් ඇතිවෙන්නේ නැහැ.මේ පිළිබදව අපි රජය විදිහට ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙනවා.[/quote]

මෙහිදී කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරී‍මේ වැඩපිළිවෙළ පිළිබඳව ත්, තවදුරටත් අවදානම පවතින ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම කෙරෙහි ද එහිදී අවධානය යොමු වී ඇත.

තව ද මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 2 ක එම පිරිස තවකාලිකව රඳවා තැබීමට මෙම සාකච්ඡාවෙදී තීරණය වූ ව වාර්තා වේ.

‍සාකච්ඡාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී මෙලෙස අදහස් පළ කළහ.

          

[quote]කොළඹට දවසකට ‍ජනතාවට පැමිණෙනවා ලක්ෂ 8 ක් 10 ක් ප්‍රමාණයක් මුළු රටේම ජනතාව පැමිණෙනවා.පැමිණෙන ජනතාවගේ එකතුවෙන කුණු ඒ හින්දා මේක විසදන්න සියලු දේශපාලඥයින් ඒ වගේම මේ රටේ ඉන්න සියලුම දෙනාම සහයෝගයෙන් ක්‍රියාකරලා මේකට විසදුමක් සෙවෙයි යුතුයි එහේම නැතුව මේක කොළඹ ජනතාවගේ කුණු එහේම නැතුව කොළඹ නගර සබාවේ කුණු කියලා මේක තවත් දිග්ගස්සන්න බැහැ.මේක මේ රටේ ජනතාවගේ ප්‍රශ්ණයක් ඉතින් මේකට අනිවාර්්‍යනේම ස්ථිර විසදුමක් මේකට හොයන්න ඕන ඉතා ඉක්මනින්.[/quote]

                                        – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් –
[quote]මම අතිගරුජනාධිපතිතුමා යෝජනා කළා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාගරික සංවර්ධන අධිකාරියෙන් විවිධ ව්‍යාපෘති සදහා ඉදිකොට අවසන් කොට තියෙන නිවාස තියෙනවා ඒ නිවාස ඉක්මනින් ලබාදෙන්න පුලුවන් මොකද හේතුව කොළඹ මහනගර සභාවෙන් ඒකට යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙනවා කිවව්වා ඉතුරු ටික අගහරුවාදා කැබිනට් මණ්ඩලයට ලබාදුන්නහම ඉතාම ඉක්මනින් ඒ ගොල්ලන්ව ඒකට පදිංචි කරන්න පුලුවන් අලුතින් ගෙවල් හදනකන් කදවුරුවල ඉන්න බැහැ අපේ ජනතාවට මොකද මේක අපේ ජනතාවගේ වරදින් නෙවෙයි මේ ඛේදවාචකය උදාවුනේ[/quote]

                                             – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් –