නියමිත දිනට පෙර සංචාරය නිමවා යළි දිවයිනට පැමිණිමට අගමැති තීරණය කරයි

නියමිත දිනට පෙර සංචාරය නිමවා යළි දිවයිනට පැමිණිමට අගමැති තීරණය කරයි

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 7:41 pm

නිල ආරාධනයකට අනුව වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් සිය සංචාරය නිමකර යළි දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මීතොටමුල්ල ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

ජපනයේ නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද දහවල් වියට්නාමයට ළඟාවිය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු වන්නේ, එරට අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ නිල ආරාධනයකට අනුව ය.

අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් දකුණු, ගිණිකොනෙ ආසියා සහ දකුණු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙන් ම දෙරටේ තානාපතිවරු එක්ව සිටියහ.

විශේෂ හමුදා උත්තමාචාර සහිතව එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගැනිණ.

වියටිනාම නිල සංචාරය අතරතුර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිවරයා මෙන් ම අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ පිරිස සමග සාකචිඡා කිහිපයක් පැවැත්විමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාම නිල සංචාරය නිම කර එළබෙන 19 වනදා දිවයිනට පැමිණිමට අපේක්ෂා කර තිබුණද සංචාරය කෙටි කිරීමට පියවරගෙන තිබේ.