Bestweb 2018
Bestweb 2018

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම සමබර ප්‍රතිලාභ අරමුණු කර ගත් ලියැවිල්ලක් – ඉන්දීය විදේශ ඇමතිනී (VIDEO)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම සමබර ප්‍රතිලාභ අරමුණු කර ගත් ලියැවිල්ලක් – ඉන්දීය විදේශ ඇමතිනී (VIDEO)

By Sakila Udayakumara

27 Apr, 2017 | 6:58 pm

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම දෙරටේ ජනතාව වෙත සමබර ප්‍රතිලාභ ලැබීම අරමුණු කර ගත් මූලික ලියැවිල්ලක් බව ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි.

මේ ලියැවිල්ල පදනම් කර ගනිමින් විවිධ ක්ෂේත්‍ර‍ සංවර්ධනය කිරීම පිළිබඳව එකඟත්වයකට එළැඹිය හැකි බව ඇගේ අදහස යි.

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සිදු කිරීමේදී ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීමේ අවස්ථා ගණනාවක් ඇති බව මේ සාකච්ඡාවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරිය පවසා තිබේ.

ඇය අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසෙන ඉන්දීය ධීවරයින් ඇතුල්වීම වැළැක්වීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් විසින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ය.

ඉදිරි වසර 3ක කාලය තුළ ක්‍රමානුකූලව එම ධීවරයින් ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය සඳහා යොමු කෙරෙන අතර, මුල් කණ්ඩායම් පුහුණු කිරීම ආරම්භ කර තිබේ.

බොටම් ට්‍රෝලින් යාත්‍රා අලුතින් ලියාපදිංචිය ක්‍රමිකව අත්හිටුවමින් යන බව ද සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කළා ය.

මේ අතර නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා හමුවිය.

දෙරටේ බුද්ධි අංශ අතර නිරන්තර සංවාදයක් පැවැතිය යුතු බව ත් ශ්‍රී ලංකාවේ පොලිස් සේවය නවීකරණය කිරීමේදී ඉන්දීය අත්දැකීම් කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්න පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

මේ අතර යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දීය මහා මාර්ග සහ නාවික අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි මහතා අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.

යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම තුළින් උතුරේ ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබේ.