Bestweb 2018
Bestweb 2018

ජනපති සහ අගමැතිගෙන් අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩ

ජනපති සහ අගමැතිගෙන් අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩ

By Hashini De Mel

14 Apr, 2017 | 6:37 am

සුර්ය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියවීම වන්නේ “මිනිසාත්, ස්වබාවදහමත් අතර පවතින්නා වූ භෞතික සහ අධ්‍යාත්මික ගනුදෙනුවක අපුර්ව සබැඳියාව” බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, තම පැවැත්ම සවිබල ගැන් වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්වන කෘතවේදීත්වය සහ අවශේෂ සමාජය අතර පවත්නා සමීප සබැඳියාව අවුරුදු චාරිත්‍ර පද්ධතියේ අර්ථය වන බව ය.

සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත් ව නැගී සිටින රටක් ලෙස එළැඹි අලුත් අවුරුද්දේ පෙළ ගැසෙමුය යන්න අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කර ගත යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සමග බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නුතනයේ වුව ද ප්‍රතික්ෂේප කළ නොහැකිව ඇත්තේ, එය තුළ ඇති පරිසර හිතවාදී සහ මානව හිතවාදිභාවය නිසා බව අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.

එම සම්ප්‍රදායික සංස්කෘතික උරුමය දූ දරුවන්ට ද හඳුන්වා දෙමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීම අප සතු වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කළේ ය.

සිංහල සහ දෙමළ ජනතාව එක් ව අලුත් අවුරුද්ද සමරනවා සේම සෑම අවස්ථාවකදීම සමඟියෙන් කටයුතු කිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව තහවුරු වන බව විපක්ෂ නායක, ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.

අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, සිංහල සහ දෙමළ ජාතීන් එක් ව අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳ තමා සතුටට පත්වන බව ය.