සෞභාග්‍ය වෙත යන ශ්‍රී ලංකාව තුළ උත්පාදනය වන ව්‍යාපාරික අවස්ථා අත්නොහරින්නැයි මුදල් ඇමති ආයෝජකයින්ගෙන් ඉල්ලයි

සෞභාග්‍ය වෙත යන ශ්‍රී ලංකාව තුළ උත්පාදනය වන ව්‍යාපාරික අවස්ථා අත්නොහරින්නැයි මුදල් ඇමති ආයෝජකයින්ගෙන් ඉල්ලයි

කර්තෘ Sakila Udayakumara

17 Mar, 2017 | 8:59 pm

සෞභාග්‍ය වෙත යන ශ්‍රී ලංකාව තුළ උත්පාදනය වන ව්‍යාපාරික අවස්ථා අත්නොහරින්නැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඒ, හොංකොංහි පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වත්මන් රජය දියත් කළ දෙවන ආයෝජන සමුළුව ඊයේ ‍හොංකොංහිදී ආරම්භ වුණේ, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට ලොව ප්‍රධාන පෙළ මූල්‍ය ආයතන නියෝජිතයින් හා අයෝජකයින් 200ක් පමණ එක්ව තිබේ.

දීර්ඝ නිශේධන කාලපරිච්ඡේදයකට පසු රට ප්‍රාණවත් ආර්ථික පුනර්ජීවනයක් කරා ගමන් කර ඇති අතර එවැනි තත්ත්වයක් තුළ උත්පාදනය වන ආයෝජන අවස්ථා අත්පත් කර ගැනීමේ කාලෝචිත බව මුදල් අමාත්‍යවරයා මෙහිදී ආයෝජකයින්ට පෙන්වා දුන් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන ආයෝජකයින්ට දැනටමත් විවිධ දිරි ගැන්වීම් දී ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා පවසා ඇත්තේ, රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර රාමුව තුළ දෙපාර්ශවයට ම ප්‍රතිලාභ අත්වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ය.

එමෙන් ම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නුදුරේදී විවෘත කිරීමට කටයුතු කෙරෙන බැවින් ඉන් තවත් ආයෝජන අවස්ථා රැසක් බිහිවන බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර ආයෝජන සමුළුවේ නිල වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මෙරට රාජ්‍ය ආයතන ගණනාවක් ඉදිරියේදී කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තු ගත කිරීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළ බව ය.

එහිදී හයට් හෝටලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ගණනාවක් ඉදිරි මාස 3 ඇතුළතදී කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගත කිරීමට සැලසුම් කර ඇතැයි ද මුදල් අමාත්‍යවරයා පැවසූ බව සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]