මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ශ්‍රී ලාංකිකයින් සහිත නෞකාව මුදා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ශ්‍රී ලාංකිකයින් සහිත නෞකාව මුදා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Hashini De Mel

15 Mar, 2017 | 10:17 am

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාච්ඡාවක් විදේශ අමාත්‍යාංශය සමග අද සිදු කරන බව වරාය හා නාවික අමාත්‍යාංශය පවසා තිබේ.

පසුගිය 13වන දා ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 8දෙනෙකු සමග සෝමාලියාවේ ජිබූටි වරාය ආසන්නයේදී ඒරිස් 13 නැමැති ඉන්ධන නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ඇති බවට වාර්තා වේ.

පසුගිය ජනවාරි 28වනි දා පස්වරු 5.35ට මෙම නෞකාව කොළඹ වරායේ සිට සෝමාලියාවේ, මොගඩිෂු වරාය දක්වා ගමන් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒරිස් 13 නෞකාව සමග පැවති සන්නිවේදන සම්බන්ධතා ඊයේ රාත්‍රීයේ සිට ඇණහිට ඇති බව ය.

ශ්‍රී ලාංකික පෞද්ගලික සමාගමක් මගින් මෙරට පුද්ගලයින් 8දෙනෙකු එම නෞකාවේ සේවයට යොදවා ඇති අතර කොමරෝස් ධජය යටතේ නෞකාව යාත්‍රාකර ඇතත් එහි කළමනාකරණ කටයුතු සිදු කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකි.

ඇමරිකාවේ නිව්ස් වීක් සඟරාව මෙම සිදුවීම වර්තා කාළේ, 2012 වර්ෂයට පසු වානිජ නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් පළමු අවස්ථාව මෙය වන ලෙසය.