අමෙරිකාවේ සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ව්‍යාපෘති කාර්යාලයක් මෙරට ඇරඹීමට කැබිනට් අනුමැතිය

අමෙරිකාවේ සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ව්‍යාපෘති කාර්යාලයක් මෙරට ඇරඹීමට කැබිනට් අනුමැතිය

කර්තෘ Sagarika Chathumali

15 Mar, 2017 | 8:41 pm

අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ආධාර නියෝජිතායතනයක් වන සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ව්‍යාපෘති කාර්යාලයක් මෙරට ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය යටතේ ස්ථාපනය කිරීමට නියමිතයි.

MCC යන කෙටි නාමයෙන් හදුන්වන සහශ්‍ර අභියෝගතා සංස්ථාව ආර්ථික වර්ධනය ඇති කිරීම මගින් ලොව පුරා දිළිදු බව අවම කිරීම සඳහා ක්‍රියාත්මක අමෙරිකා එක්සත් ජනපද විදේශ ආධාර නියෝජිතායතනයකි.

පසුගිය දෙසැම්බර් 14 වනදා ඔවුන් නිවේදනය කළේ, ශ්‍රී ලංකාව සමග ටියුනීසියාව හා බර්කිනෝපාසෝ යන රටවලට වසර 5 ක කාලයක් සඳහා සහයෝගය ලබාදීමට තම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ආර්ථික නිදහස, ජනතාව වෙනුවෙන් කෙරෙන ආයෝජන ඇතුළු කරුණු කිහිපයක් සලකා බැලීමෙන් පසුව ආර්ථික වර්ධනය දිරිගැන්වීම හා දිළිදුකම තුරන් කිරීම සඳහා සහය ලබාදීමට සහශ්‍ර අභියෝගතා සංස්ථාව පියවර ගනු ලබයි.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ මෙම ආයතනය ඉදිරි වසර 5 සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

ප්‍රතිපත්ති ස්ථාවරත්වය, ඉඩම් හා ප්‍රවාහන සදහා ප්‍රවේශය, ජලය හා අපජල යටිතල පහසුකම්, විදුලිය හා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ආර්ථික ප්‍රගමනයට හේතුවන අයුරින් සංවර්ධනය කිරීම සඳහා මෙම ආයෝජන යෙදවෙනු ඇති.

මේ අතර අනාගත වෙළෙඳ සැළසුම් අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]