උසේන් බෝල්ට්,සෙවණේ පුහුණුවීමට හිමාෂ ඒෂාන් ජැමෙයිකාවට යයි

උසේන් බෝල්ට්,සෙවණේ පුහුණුවීමට හිමාෂ ඒෂාන් ජැමෙයිකාවට යයි

By Nadeeshan Meedin

Feb 13, 2017 | 4:32 pm

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක හිමාෂ ඒෂාන් අද (13) ජැමෙයිකාවේ, පුහුණුවීම් සඳහා නික්ම ගියේ ය.

ලොව වේගවත්ම ක්‍රීඩකයා වන උසේන් බෝල්ට් ගේ පුහුණුකරුවන ග්ලේන් මිල්ස් (Glen Mills) යටතේ හිමාෂ මාස හයක කාලයක්, ජැමෙයිකාවේ පුහුණුවීම් සිදුකිරීමට නියමිත වේ.

ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ද ග්ලේන් මිල්ස්.

 

mills

උසේන් බෝල්ට්, තම පුහුණුකරු ග්ලේන් මිල්ස් සමගින්

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔහු නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ කෙටි දුර ධාවන පුහුණුවීම් සඳහා මෙරට අත්‍යවශ්‍ය පහසුකම් නොතිබීම හේතුවෙන් මෙම අවස්ථාව තමන් ලබා ගත් බවය.

ඒ අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් ලද ශිෂ්‍යත්වයක් මගින් හිමාෂ මෙලෙස ජැමෙයිකාවේදී පුහුණුවීම් සිදුකරනු ඇති.

මෙම කාලය මීටර් 100 ඉසව්ව තත්පර 10 ක කාලයක් තුළ අවසන් කිරීමට උත්සාහ දරණ බවද හිමාෂ ඒෂාන් සඳහන් කළේය.

සුගතදාස ක්‍රීඩාංගණයේ මෙන්ම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේද කෘතීම ධාවන පථ කෙටි දුර ධාවන ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සිදුකිරීමට යොග්‍ය තත්වයක නොවීම හේතුවෙන්,  ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියි.

ඉන්දියාවේ දී පසුගිය වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 පිරිමි හා කාන්තා ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වූ හිමාෂ ඒෂාන්ට හා රුමේෂිකා රත්නායකට මෙන්ම මීටර් 200 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් විනෝජ් සුරංජය ද සිල්වාට, ක්‍රීඩා අමාත්‍යංශය මගින් විදෙස් පුහුණුවීම් සඳහා අවස්ථාව ලබා දීමට ඉල්ලීම් කර තිබුණද එම අවස්ථාව ඔවුන්ට හිමි නොවීය.

mills

හිමාෂ ඒෂාන්ගේ පුහුණුකරුවන චමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ, අදාළ කාලයේ ක්‍රමවත් පුහුණුවීමක් ලැබුණේනම්, මෙම වසරේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඉහත ක්‍රීඩකයන් දෙදෙනාට හා ක්‍රීඩිකාවට පදක්කම් ලබා ගැනීමේ අවස්ථාව තිබූ බවයි.

13445804_261182597571666_8080222850081389686_n

විනෝජ් සුරංජය හා හිමාෂ ඒෂාන් පුහුණුකරු චමින්ද පෙරේරා හා මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න සමගින් ඉන්දියාවේදී.

කෙසේ වෙතත්, හිමාෂට ලද අවස්ථාව ඔහුගේම උත්සාහය මත ලද අවස්ථාවක් ලෙස ද චමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

විදෙස් පුහුණුවීම් කටයුතු සඳහා ලබාදුන් සැලසුම අසාර්ථක වුව ද අදාළ ක්‍රීඩකයන් දෙදෙනාට හා ක්‍රීඩිකාවට මෙරට පුහුණුවීම් සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහය දැක්වු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පුහුණුවීමේ අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාගෙන් කල විමසීමේ දී ඔහු සඳහන් කළේ, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවය.

අදාළ වීඩියෝව නරඹන්න

Rathnayaka1_Athletics_sag16_670_534

රුමේෂිකා රත්නායක (මැද) හමුවේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේදී දෙවැන්නාවූ ශ්‍රබානී නන්දා (වමේ) ද පුහුණුවීම් සිදුකරන්නේ, ජැමෙයිකාවේ දීය, තෙවැන්නාවූ ඩුටී චාන් (දකුණේ) ඔලිම්පික් වරම් දිනාගත්තේය.

කෙසේ වෙතත් ප්‍රතිවාදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් පුහුණු අවස්ථා.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම් ලාභීනිය වූ ඉන්දියාවේ ශ්‍රබානී නන්දා ද මේවනවිට පුහුණුවීම් සිදුකරන්නේ ජැමෙයිකාවේ ය.

එසේම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව දිගින් දිගටම ජාත්‍යන්තර තරග අවස්ථා ලැබීම හේතුවෙන්, ඉන්දියාවේ කෙටිදුර ධාවන ශූරී ඩුටී චාන්ටද පසුගිය වසරේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.

එසේ තිබියදී අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අවස්ථාව නොලැබුණේ කාගේ වරදින් ද ? 

100x4

මොහොමඩ් ලතීෆ්, හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, ශෙහාන් අඹේපිටිය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව අවසානයේ දුක්වූ අවස්තාව.

ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ පිරිමි කණ්ඩායමට ද පසුගිය වර ආසියානු ශූරතාවලියේදී පදක්කම අහිමිවූයේ තත්පර දශම 04 කිනි.

ඔවුන් දෙවරක් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ ද ඔවුන්ට ද ක්‍රමවත් පුහුණුවීමක් ලබා දීමේ අවශ්‍යතාවක් මෙරට බළධාරීන්ට තිබුණේදැයි සැක සහිත වේ.

එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතර, හිමාෂ ඒෂාන් හා විනෝජ් සුරංජයද වූ අතර, අනෙක් ක්‍රීඩකයන් වූයේ මොහොමඩ් ලතීෆ් හා ශෙහාන් අඹේපිටියයි.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙවර ඉන්දියාවේ දී ලබන ජූනි මස දී පැවැත්වීමට නියමිත අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන අගෝස්තු මස එංගලන්තයේදී පැවැත්වෙනු ඇත.

ඕනෑම මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට විදෙස් පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව ලබා ගත හැකි ද ? 

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, ශිෂ්‍යත්ව පිරිනැමීමේ ක්‍රමවේදයක් සකසා ඇත.

ඒ අනුව, අදාළ වයස 23 ට නොවැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට අයදුම් කළ යුතුවන අතර, ඒ සඳහා පරිසාධන මට්ටමක් ද පණවා තිබේ.

මේ දැක්වෙන්නේ ඒ පරිසාදන මට්ටම් වේ. (අයදුම් කළ යුතු ආකාරය මෙතැනින්.)
iaaf_standards_u23