රටේ ආර්ථිකය බරපතල අර්බුදයක – DailyFT වාර්තා කරයි

රටේ ආර්ථිකය බරපතල අර්බුදයක – DailyFT වාර්තා කරයි

කර්තෘ Sakila Udayakumara

28 Feb, 2017 | 9:24 pm

රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි ඩේලි එෆ්.ටී පුවත්පත අද වාර්තා කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යය මැකන්සි වැනි ආයතන ලවා ක්‍රියාත්මක කිරීමට යාමේත් ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය මතුව ඇතැයි එහි සඳහන් ය.

ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කළ ලිපියේ දැක්වෙන්නේ ගෙවුණු මාස 18ක කාලය මෑත ඉතිහාසයේ ව්‍යාපාර හා ව්‍යවසාය ක්ෂේත්‍රයට උදාවූ අඳුරුත ම කාල පරිච්ඡේදයක් බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කළ බදු ප්‍රතිපත්ති හා රෙගුලාසි 2017 වසරේ අප්‍රේල් පළමු වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි එහි සඳහන් ය.

නමුත් ගෙවුණු සති කිහිපයේදී වාණිජ මණ්ඩල මට්ටමින් හා ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ කෙරුණු සංවාද හැරුණු විට නව බදු ක්‍රමය පිළිබඳව සාමාන්‍ය ජනයා කිසිදු ආකාරයකින් දැනුවත් වී නොමැති බව පුවත්පත පෙන්වා දෙයි.

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වුවද එම අරමුදල ඝානාව සඳහා යෝජනා කළ ආකාරයේ යෝජනාවලියක් අන්ධයින් ලෙස පිළිගත යුතු නැතැයි ඩේලි එෆ්.ටී වාර්තාවේ සඳහන් ය.

මැකෙන්සි ආයතනයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පවසන පුවත්පත ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඒ සඳහා හැකියාවෙන් යුතු එකක් බව ද ඔවුන් නිවැරදි තීරණ ගැනීම සඳහා බලගැන්විය යුතු බව ද අවධාරණය කරයි.

තම අරමුණු අනුව තීරණ ගන්නා දේශපාලනඥයින් අවශ්‍ය නැතැයි පෙන්වා දෙන පුවත්පත පෙන්වා දෙන්නේ හොඳ නරක තෝරා බේරා ගැනීමට කාලය එළැඹ ඇති බව ය.

පුවත්පතට මෙම ලිපිය සම්පාදනය කර ඇත්තේ විශේෂ ලියුම්කරුවෙකු විසිනි.