ප්‍රමුඛ පෙළ එස්.එස්.සී – සී.සී.සී. සිව්දින තරගය දින දෙකන් අවසන්.

ප්‍රමුඛ පෙළ එස්.එස්.සී – සී.සී.සී. සිව්දින තරගය දින දෙකන් අවසන්.

By Nadeeshan Meedin

15 Feb, 2017 | 9:09 pm

දේශීය ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගයක් දින එකහමාරක් තුළ අවසන් වූ බවට වාර්තා වේ.

මෙරට ප්‍රමුඛපෙළ ක්‍රිකට් කණ්ඩායම් දෙකක්වන එස්.එස්.සී. හා සී.සී.සී කණ්ඩායම් අතර බී.ආර්.සී. පිටියේදී පැවති මෙම තරගය පැවැත්වීමට හැකිව ඇත්තේ, පන්දුවාර 146 යි පන්දු 4 ක් පමණි.

සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 147 කට සීමාවී ඇත්තේ, පන්දුවාර 47 ක් තුළයි.

ඒ කෞෂාල් සිල්වාගේ ලකුණු 47 ක් හා කවිඳු කුලසේකරගේ ලකුණු 43 ක ද සහායැතිවය.

කොළඹ ක්‍රිකට් සමාජයේ (සී.සී.සී.) වනිඳු හසරංග මෙහිදී කඩුලු 5 ක් ලකුණු 15 ක දී දවා ගෙන ඇත.

ප්‍රතිවාදී සී.සී.සී. ඉනිම ලකුණු 101 කට සීමා කිරීමට සචිත්‍ර සේනානායක (15/4) හා ඩිල්ශාන් අබේසිංහ (44/3) සමත්වූ යේ, ප්‍රතිවාදී සී.සී.සී. ක්‍රීඩකයන් සිව් දෙනෙකුට ලකුණු ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරමින්ය.

නැවතත් තම දෙවැනි ඉනිම ලකුණු 46 ක වාසියක් සමගින් ආරම්භ කල එස් එස් සී ක්‍රීඩකයන්, පළමු ඉනිමේදී මෙන්ම ලකුණු 155 ක් තුළ දැවී ගියේය.

එහිදී ද කෞෂාල් සිල්වා ලකුණු 43 ක් රැස්කරද්දී ඕෂද ප්‍රනාන්දු ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.

සී සී සී කණ්ඩායමේ වනිඳු හසරංග නැවත ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගනිද්දී, නායක අශාන් ප්‍රියංජන් ලකුණු 14ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි සී.සී.සී. කණ්ඩායම නැවතත් පිත්තත් සමග අසරණ විය.

ඔවුන් සියලු දෙනා ලකුණු 117 ක් තුළ දැවී ගියේ නැවතත් සචිත්‍ර සේනානායක (30/4) හා ජෙෆ්‍රි වැන්ඩර්සේ (46/4) පන්දුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්ය.

එස් එස් සී කණ්ඩායමට ලකුණු 84 ක ජයක් මෙහිදී හිමිවුවද, තරගය දින දෙකහමාරක් ඉතිරිව තිබියදී අවසන්වීම විශේෂත්වයක් විය.

දේශීය තරග බිමේ ජ්‍යේෂ්ඨයන් රැසක් මෙම කණ්ඩායම් දෙක නියෝජනය කළද අත්‍යාවශ්‍යවූ තරගකාරීත්වය, පිත්තෙන් ලබා දීමට පිතිකරුවන් අපොහොසත් වීම මෙහිදී කැපී පෙනේ.