මාලඹේ වෛද්‍ය උපාධිධාරීන්ට ත් වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අයිතිය (VIDEO)

මාලඹේ වෛද්‍ය උපාධිධාරීන්ට ත් වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අයිතිය (VIDEO)

By Sagarika Chathumali

Jan 31, 2017 | 10:57 am

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇතැයි අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

ඒ, සයිටම් උපාධිධාරිනියක වන ඩිල්මි කසුන්දා මල්ෂිනි සූරියආරච්චි මෙනවිය ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

පෙත්සම සලකා බැලුණේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයි රාජා යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

පළමු වගඋත්තරකරු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්, දෙවන වගඋත්තරකරු ලෙස සයිටම් ආයතනයත්, තුන්වන වගඋත්තරකරු ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු ආයතන 6ක් මෙම පෙත්සමෙන් නම් කර තිබිණි.

අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ, පෙත්සම ඉදිරිපත් කළ සිසුවිය ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥා පනතේ 29/2 වගන්තිය යටතේ නීත්‍යානුකූල වගකීමක් පැවරෙන අතර අදාළ ශිෂ්‍යාව සියලු සුදුසුකම් සපුරා ඇති බව ය.‍

සර්ෂියොරාරි, මැන්ඩාමුස් සහ ප්‍රොහිබිෂන් රීට් ආඥා නිකුත් කරමින් නියෝග කළේ, පෙත්සම්කාර සිසුවිය වෛද්‍ය සභාවේ ලිංයාපදිංචි කර ගත යුතු බව ය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, පළමු වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්, දෙවැනි වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා යන මහත්වරු පෙනී සිටියහ.

අභියාචනාධිකරණය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අතරවාරයේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් හා රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.

ඒ අතරින් පිරිසක් අධිකරණ භූමියට නුදුරින් නිහඬ විරෝධතාවක ද නිරත වූහ.

මේ අතර කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයක අද දහවල් විරෝධතා ව්‍යාපාර කිහිපයක් ද පැවැත්විණි.

[youtube url=”www.youtube.com/watch?v=wSFFAtFxHyY” width=”560″ height=”315″]