දකුණු අප්‍රිකාවට එරෙහිව 20/20 ට කුසල් ජනිත් නෑ, නවක තික්ෂිලට අවස්ථාව

දකුණු අප්‍රිකාවට එරෙහිව 20/20 ට කුසල් ජනිත් නෑ, නවක තික්ෂිලට අවස්ථාව

By Nadeeshan Meedin

Jan 11, 2017 | 8:52 pm

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට අද නම් කළේය.

ඊට නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් විය.

ගාල්ල රත්ගම ප්‍රදේශයෙන් ක්‍රීඩාවට දායාද වූ ඔහු, රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන්, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළ ක්‍රීඩකයෙකි.

පාසල් සමයේ දී එතරම් ප්‍රචලිත ක්‍රීඩකයෙකු නොවුවද, පළමු පෙළ තරග වලිදී පිත්තෙන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් තික්ෂිලව 20/20 කණ්ඩායමට නම් කර තිබේ.

ඔහු ක්‍රීඩා සමාජ, පන්දුවාර 20/20 ක්‍රිකට් තරග 16 කට සහභාගීවී එහිදී ලකුණු 218 ක් රැස්කර තිබේ. එහිදී හයේ පහර 15 ක් එල්ල කර තිබීමෙන්, හැඟීයන්නේ, විශාල පහර සඳහා යොමුවීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකු ලෙසවේ.

ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ, ලකුණු 59 කි.

thikshila

තික්ෂිල ද සිල්වා

මේවනවිට, හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන තීක්ෂිල ඊට පෙර නියෝජනය කලේ ගාල්ල ක්‍රිකට් සමාජයයි.

තීක්ෂිල ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

තික්ෂිලට අමතරව ළහිරු සඳකැන්ද නවකයෙකු ලෙස, මෙම සංචාරයට එක්වේ. ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කර ඇති ඔබු එක් එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර තිබේ.

වමතින් දඟ පන්දුයවන ලක්ෂාන් පන්දුවාර 20/20 තරග වලදී, ක්‍රීඩා සමාජ මට්ටමින් තරග 15 කට සහභාගීවී ඇති ඔහු, එහිදී දවා ගෙන ඇත්තේ කඩුලු 16 ක් පමණි.

නිරෝෂන් දික්වැල්ල, ධනුශ්ක ගුණතිලක, සික්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන හා සචිත් පතිරණ ද කණ්ඩායමට ඇතුළත් වේ.

එසේම කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා හා අසේල ගුණරත්න ද පිතිකරුවන් ලෙස එක්වේ.

ජ්‍යේෂ්ඨයන් ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, නුවන් කුලසේකර සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් නම්කර ඇති කණ්ඩායමට ඇතුළත් වේ.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට, 20/20 විශේෂඥ පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා ඇතුළත් නොවීම විශේෂත්වයක් වේ.

එසේ ම දසුන් ශානකට ද මෙම කණ්ඩායමේ අවස්ථාවක් හිමිව නැත. ඔහු අවසන් වරට 20/20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ, පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව පැවැති ක්‍රිකට් තරගාවලියේදීය.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත 20/20 තරගාවලිය ලබන 20 වැනි දා සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිතය.