මාස 21ක් ඇතුළත පර්පෙචුවල් සමාගම අත්පත් කර ගත් ලාභය කුඩු විකුණලාවත් හොයන්න බැහැ – අනුර කුමාර (VIDEO)

මාස 21ක් ඇතුළත පර්පෙචුවල් සමාගම අත්පත් කර ගත් ලාභය කුඩු විකුණලාවත් හොයන්න බැහැ – අනුර කුමාර (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Jan, 2017 | 7:43 pm

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කෝප් වාර්තාව පදනම් කර ගනිමින් අද පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්විණි.

ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යි.

අනුර කුමාර දිසානායක
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
[quote]පසුගිය නොවැම්බර් මාසයේ මූල්‍ය මණ්ඩලය විසින් මුල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා, මෙම සේවක අර්ධ සාධක අරමුදලේ කටයුතු මෙම බැඳුම්කර හරහා සිදුවී තිබෙන පාඩුව පිළිබදව වාර්තාවක්. ඒ වාර්තාවේ නිශ්චිත ලෙස සඳහන් කොට තිබෙනවා ද්විතික වෙළෙඳපොළෙන් බැඳුම්කර මිලදී ගැනීම හරහා අදාළ කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලට ඇති වී තිබෙන පාඩුව බිලියන 14.9 යි. එම මුදල් ගලාගෙන ගිහින් තියෙන්නේ, ගරු කථානායකතුමනි, පර්පෙචුවල් සමාගමට. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත්, මෙම සාකච්ඡාවට බඳුන් කරන මාස 21 ඇතුළත පර්පෙචුවල් සමාගම අත්පත් කර ගන්නා ලද ලාභය මිලියන 13,000 ඉක්මවනවා. මම අහනවා මූල්‍ය පිළිබඳව විශේෂඥයෙක් ඉන්නවා, සරත් අමුණුගම ඇමතිතුමා, කවර ව්‍යාපාරයකට ද මාස 16ක් ඇතුළත මිලියන 13,000 කට වඩා අධික ලාභයක් උපයාගත හැකි වන්නේ කවර සමාගමකටද? අඩුම තරමේ ගරු කථානායකතුමනි කුඩු විකුණලාවත් හොයන්න බැහැ. අඩුම තරමේ මහ බැංකුව මෙවැනි ආන්දෝලානාත්මක ගනුදෙනුවකට සිදුවී තිබෙන පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික ගැනුම්කරුවන් කියන එකෙන් අයින් කළ යුතුව තිබෙනවා. එම ගනුදෙනුවේ ප්‍රධානම ආරක්ෂිතයා බවට අග්‍රාමාත්‍යවරයා පත් වී තිබෙනවා. ඒ නිසා ආරක්ෂිතයෙක් බවට පත් වී තිබෙන අග්‍රාමාත්‍යවරයා ඒ අග්‍රාමාත්‍යවරයා පාලනය හොබවන ආණ්ඩුවකින් මෙයට නිසි දඬුවම් ලැබේවි කියලා අපි විශ්වාස කළ යුතු ද? ඒ නිසා මා කියන්නේ මේ වංචනිකයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය මේ පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට ඔබතුමා අතටත් අරගෙන මෙහෙයවන්න කියන එක තමයි, ගරු කථානායකතුමනි මා ඉල්ලා සිටින්නේ[/quote]
බන්දුල ගුණවර්ධන – පා.ම.
එක්සත් ජනතා නිදහස් සන්ධානය

[quote]මේ බැංකු ආයතන මිලදී ගන්නවා. බැංකු ආයතන රක්ෂණ ආයතන මූල්‍ය ආයතන සියල්ල මිලදී ගන්නවා. මිලදී ගන්නවා පමණක් නෙවෙයි තමන්ගේ දේශපාලනය සඳහා අවශ්‍ය හොරු ඉහළට ගෙනයාම සඳහා පුවත්පතක් මුද්‍රණය කිරීම සඳහා මාධ්‍ය ආයතනවල මේ මාධ්‍ය ප්‍රධානීන් මේ වෙනකොට මිලදී අරන් ඉවරයි. පුවත්පතට නමක් තියන්න ඕනේ බැඳුම්කරය කියලා. බැඳුම්කරයෙන් තමයි මේ ප්‍රාතිහාර්ය පාන්නේ[/quote]
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල
සභානායක
[quote]චන්ද්‍රා ජයරත්න මැතිතුමා ප්‍රධාන තව දෙන්නෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අද මේ පාර්ලිමේන්තුවේ කථා කරපු සියලු දේවල් එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුවා. අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුවාට පස්සේ දින 3ක් ඒක විභාග කරලා වගඋත්තරකරුවන්ට දැන්වීමක්වත් අරින්නේ නැතිව විතවුට් නෝටීස්, ඒ ඉල්ලීම නිශ්ප්‍රභා කෙරුවා. අද මේ හූ කියන කට්ටියගෙන් මම අහනවා, ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉන්දැද්දී 2005 – 2015 අතර කොප් වාර්තා 40ක් තිබ්බා. ඒ කොප් වාර්තා එකක්වත් නීතිපතිවරයාට ඇරියේ නැහැ. නමුත් අපි පළමුවැනි කොප් වාර්තාව නීතිපතිට ඇරියා[/quote]

අමාත්‍ය කබීර් හෂීම්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
[quote]මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලේ නිවාඩ්කබ්රාල් මහතා අධිපති හැටියට කටයුතු කළා. ඒ දවස්වල මූල්‍ය වංචා බුරුතක්ම සිදුවූ බව මේ සභාව දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඩීල් කිහිපයක් තිබ්බා. මම ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්නේ මේ ඔබට හයිය තිබුණා ද ඒ දවස්වල. ඉස්සෙල්ලා කෙලින් ඉඳගෙන ඕවා ප්‍රශ්න කරන්න. ඔබ මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන කොට එදා ඔබට ඒ හයිය තිබුණා ද? ඔබ එක්කෝ ඩීල් එකක් තිබෙන්න ඇති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවත් එක්ක. නැත්නම් ඔබට කොන්දක් තිබිලා නැහැ එදා කතා කරන්න. දන්නේ නැතිව ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් හැටියට, කටයුතු කරන එන්ට්‍රාස් සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරු හැටියට ඉන්නේ එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෝලයෙක් ‍වන ඉසිර දසනායක මහත්මයා, සියයට 66ක කොටස් තියෙන්නේ එතුමාට. ඊලඟට චානුක රත්වත්තේ මහතා, සියයට 21ක කොටස් තියෙන්නේ ඒ පුද්ගලයෝ දෙන්නාට. එතකොට මේ ආයතනය එන්ට්‍රාස් සිකියුරිටීස් ආයතනය 2016 ජනවාරි මාසයේ තුන්වැනිදා මූල්‍ය මණ්ඩලයෙන් පවරා ගන්නවා. මොකද මෙකේ විශාල වංචාවක් සිදු වෙනවා. මහ බැංකුව මහා බැංකුවේ, විශ්‍රාමිකයින්ගේ අරමුදලෙන් රුපියල් කෝටි 250 ක් කෙලියා එකෙන් සමූපකාර සමිතියෙන් මිලියන 600ක් එකෙන් කෙලියා. මෙන්න මේ එන්ට්‍රාස් සමාගම. අද වෙනතුරු මේක ගැන විධිමත් පරික්ෂණයක් කරන්නේ නැහැ. වෙස්ටන් වොරියස් ක්‍රීඩා සමාජය. ඒ ක්‍රීඩා සමාජයේ අයිතිය, වෙස්ටන් ස්පොට් මැනේජ්මන්ට් කියන. එතකොට මේ රගර් ක්ලබ් එකේ කැප්ටන් කවුද? යෝෂිත රාජපක්ෂ මහත්මයා එතකොට මේ යෝෂිත රාජපක්ෂ මහතාව වෙන්දේසියෙන් තමයි ඒගොල්ලෝ රගර් ගහන්න ගන්නේ. කීයද ගෙවන්නේ? රුපියල් මිලියන 11ක්. මේ රුපියල් මිලියන 11ක් එන්ට්‍රාස් එකෙන් ගෙවන්නේ කාගේ සල්ලිවලින් ද? ඒ රජයේ වංචා කරපු සල්ලිවලින් නෙවෙයිද?[/quote]
නිමල් සිරිපාල ද සිල්වා – ජ්‍යෙෂ්ඨ උප සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
[quote]අපි රජයට එකතු වුණත් අපි මෙකේදී දැන් විවිධ ‍‍චෝදනාවන් ආණ්ඩුව මේක වහන්න හදනවා, කියලා අපි එහෙම දෙයක් නැහැ. අපි ඉතා පැහැදිලිව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් මෙන්න මේ අපි එදා හිටපු ඒ ස්ථාවරය පැහැදිලිව ඉඳිමින්. අපි ජනාධිපතිතුමාට ඒ කරුණු ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව අපිට කියා සිටියා, ඒ පිළිබඳව එතුමා මේ ‍නිර්දේශ අනුව එතුමා විශේෂ කොමිෂන් සභාවක් පත් කරනවා මාස 3 ක් ඇතුළතදී මේ පිළිබඳව පරික්ෂා කරලා ‍වාර්තා කරන්න. මේක හමස් පෙට්ටියට දානන් නෙවෙයි ඩීෆිෂර් එකට දාන්න නෙවෙයි ඒ සඳහා අවශ්‍ය පියවර එතුමා ගන්නා බව ප්‍රකාශ කළා.[/quote]
විමල් වීරවංශ – නායක
ජාතික නිදහස් පෙරමුණ

[quote]අගමැතිතුමා ඊලඟ 2020දී ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා. අර්ජුන් ඇලෝසියස් හොරාකාපු සල්ලිවලින් මාධ්‍ය ආයතන ගන්නවා. සියත රූපවාහිනී නාලිකාව ගන්නවා. බැඳුම්කර මගඩියෙන් වෙබ් අඩවි මිලදී ගන්නවා. මේ ඔක්කෝම මිලදී අරගෙන පත්තර ආයතන මිලදී ගන්නවා. බැඳුම්කර හොරා අගමැතිගේ ප්‍රතිරූපය හදන්න ඒ හොරාකාපු සල්ලිවලින් අද මාධ්‍ය ආයතන මිලදී ගන්නවා.[/quote]
නලින් බණ්ඩාර ජයමහ – පා.ම.
එක්සත් ජාතික පක්ෂය
[quote]තමන්ගේ පවුලේ අයට වාහන 14ක් දීලා අර කඩේ ගිය ඉත්තෑපානේ හාමුදුරුවන්ට නිවන් දකින්න වාහන 4ක් දීලා වාහන 90ක් අවභාවිතා කරපු තුන්මුල්ලේ විමලේ, අර මාවර මණ්ඩියේ කඩ මණ්ඩියේ කොමිනිකේෂන් එකක් දාගෙන තමන්ගේ ජීවිතය බොහොම අමාරුවෙන් ආරම්භ කරපු සීගිරි යන්න රුපියල් 10ක් තිබුණේ නැති තුන්මුල්ලේ විමලේ අද කඩුවෙල බුද්ධදාස මහත්මයා කියන විදියට මංගල මාවතේ දැවැන්ත මන්දිරයක් හදාගෙන ඉන්න තුන්මුල්ලේ විමලේ කෝටි ගානක් හම්බ කරපු විදිය ගැන කථා කරන්නේ නැතිව ලක්ෂ කෝටි 9ක් රටට වංචා කරලා බන්ධනාගාර ගත වුණහම තව දවස් 14 කට රිමාන්ඩ් වුණහම ඒවා ගැන කථා කරන්නේ නැතිව ඒවාට උත්තර බැඳලා නිවැරදිකරුවෙක් වෙන්නේ නැතිව රට පුරා මහින්ද හාමුදුරුවන්ගේ කවියක් දාලා කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගහලා ජාතික වීරයෙක් වෙන්න හදන එක ගැන මං හිතන්නේ අපි සියලු දෙනාටම ඇති වෙන්නේ විශාල ජුගුප්සාවක්. පසුගිය කාලේ අජිත් නිවාඩ් කබ්රාල් එක්ක සෙන්කිට්ස් ගිහිල්ලා අපිට මතකයි ඩාන්ස් කරපුවා කට්ටිය අර කෝච්චි ඩාන්ස් දැම්මා. අපේ නාමල් මන්ත්‍රීතුමන්ලා ගිහිල්ලා කෝච්චි ඩාන්ස් දැම්මා. ඒවා කරලා අජිත් නිවාඩ් කබ්රාල් කෝටි ගානක් ප්‍රකෝටි ගානක්, මේ රටේ සල්ලි හොරකම් කරපුවාට විරුද්ධව ඔබතුමාලා කරපු පරික්ෂණය මොකක් ද? ග්‍රීක් බැඳුම්කර තියලා කෝටි ගානක් අර යුරෝපා කරයේ අර කඩා වැටිච්ච රටේ සල්ලි දාලා නාස්ති කරපු සල්ලිවලට විරුද්ධව ඔබතුමාලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක් ද? ඒ දවස්වල රාජපක්ෂ මහත්මයා තමයි මුදල් ඇමති. රාජපක්ෂ මහත්මයා තමයි ජනාධිපති සියලු ඇමතිකම් කෙරුවේ ඒ කාලේ. දැන් මේ කෑ ගහන සමහර මැති ඇමතිවරු නැට්ට ගහගෙන හිටියේ අස්සේ. කකුල් දෙක අස්සේ ගහගෙන හිටියේ නැට්ට.[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]