ගිනි පෙළෙල්ලෙන් බැට කෑ ජපනුන් ගිනිඅවියට සීමා දා ගත් හැටි

ගිනි පෙළෙල්ලෙන් බැට කෑ ජපනුන් ගිනිඅවියට සීමා දා ගත් හැටි

කර්තෘ Sagarika Chathumali

12 Jan, 2017 | 3:36 pm

දෙවන ලෝක යුද්ධයේදී ජපානය ලත් නොමැකෙන අත්දැකීම් තවමත් ලොව හඬවන සුළු ය.

මිනිසා විසින් මිනිසාගේ ම විනාශය අරමුණු කර නිපදවා ගත් අවි ආයුධ නිසා වර්තමානය වනවිට දිනකට ලෝකයට අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව අති විශාල ය.

ඒ තරමටම අවිආයුධ ලොව බිලි ගෙන ඇති බව පිළිගත යුතුව ඇත.

අවිආයුධ, බෝම්බ ආදියෙහි ප්‍රතිවිපාක මුළු ලොවට ම කියා පාමින් මැදපෙරදිග ඇතැම් රටවල් ගිනි ගොඩවල් බවට පත්ව ඇති අයුරු අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම සටහන අත්දැකීම් පාඩමක් කර ගනිමින් ගිනිඅවියට තහංචි පනවා ගත් ජපානය පිළිබඳවයි…

ලොව බොහෝ රටවලින් ගිනිඅවි සහ ආයුධ භාවිත කර සිදු කරන අපරාධ නිරන්තරව වාර්තා වුව ද ජපානයෙන් එවැනි ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

ජපානය සැලකෙන්නේ, ගිනිඅවි භාවිතය අවම එමෙන් ම ගිනිඅවි නිසා සිදුවන අපාරාධ ද අවම රටක් ලෙසිනි.

එරට වාර්තාවන්ට අනුව 2014 වසරේදී ජපානය තුළ වෙඩි වැදීම් නිසා සිදුව ඇත්තේ, මරණ 6ක් පමණි. එම වසරේ ම අමෙරිකාවෙන් වාර්තා වූ වෙඩි තැබීම් නිසා වාර්තා වූ මරණ සංඛ්‍යාව 33,599කි.

මේ දෙරට සංසන්දනය කිරීමෙන් ජපානයේ අවම ගිනි අවි භාවිතය පළිබඳව වටහා ගැනීම අපහසු නැත.

ගිනිඅවි ඇතැම් රටවල ගිනි අවුලද්දී ජපානය මෙතරම් සන්සුන්වීමේ රහස කුමක් ද?

ගිනිඅවි සම්බන්ධයෙන් ජපාන නීතිය ඉතාමත් තදින් ක්‍රියාත්මක වන අතර යම් පුද්ගලයෙකුට ගිනි අවියක් මිලදී ගැනීමට අවශ්‍ය වුව ත් එය එතරම් පහසු කාර්යයක් නොවේ.

ජපාන වැසියෙකුට ගිනිඅවි බලපත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මනා ඉවසීමක් මෙන්ම දැඩි අධිෂ්ඨානයක් ඇති බව රජයට තහවුරු කළ යුතු ය.

  • එසේ ම මුළු දිනය පුරා ම පන්ති පැවැත්වෙන ගිනිඅවි පිළිබඳ පාඨමාලාවක් හැදෑරිය යුතුය.
  • පාඨමාලාවෙන් අනතුරුව අනිවාර්යයෙන් ම ලිඛිත විභාගයට මෙන් ම ප්‍රායෝගික පරීක්ෂණයකට ද පෙනී සිටිය යුතු ය.
  • එම පරීක්ෂණ දෙකෙන්ම සමත් වීමට නම් 95%කට වඩා ලකුණු ලබා ගත යුතු ය.
  • අයැදුම්කරු මානසික සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ද ලක් කෙරේ.
  • කිසියම් හෝ අපරාධ ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බව තහවුරු විය යුතු ය.
  • අයැදුම්කරු කිසියම් අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ දැයි, දැඩි ලෙස විමර්ශනයට ලක් කරන අතර ඥාතියෙකුට හෝ රැකියා ස්ථානයේ මිතුරෙකුට හෝ එවැනි සම්බන්ධයක් තිබිය නොහැක.
  • ගිනිඅවි බලපත්‍රයක් සඳහා වන ඉල්ලුම්පත්‍රය ඕනෑ ම මොහොතක ඉවතට දැමීමට පොලීසියට බලය තිබේ.
  • ඕනෑම අවස්ථාවක නීතිවිරෝධි ගිනිඅවි සොයා සෝදිසි මෙහෙයුම් දියත් කිරීම, ගිනි අවි සිය භාරයට ගැනීමට ද ජපාන පොලීසියට බලය තිබේ.
  • කිසියම් කෙනෙකුට පතොරම් මිලදී ගත හැක්කේ,ඔහු අවසන් වරට මිලදී ගත් පතොරම් කොපු යළි භාර දෙන්නේ නම් පමණි.
  • ජපානය තුළ පිස්තෝල තහනම් අතර භාවිත කිරීමට නීතියෙන් අවසර ඇත්තේ, ෂොට් ගන් සහ රයිෆල් පමණි.
  • බලපත් සහිත ගිනිඅවි පොලීසිය විසින් වසරකට වරක් අධීක්ෂණය කරනු ලබයි.
  • ජපාන නීතිය අනුව ගිනිඅවියක් සඳහා දී ඇති බලපත්‍රය වසර 3කින් පසු අහෝසි වන අතර යළි බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පෙර පරිදි ම පාඨමාලාව හදාරා විභාගයට මුහුණ දී විභාය සමත් විය යුතු ය.
  • ජපානය තුළ ගිනිඅවි සහ උණ්ඩ ගබඩා කර ඇති ස්ථාන පිළිබඳව දැනුවත් විය යුතු අතර එම ගබඩා ඉබි යතුරු දමා වෙන වෙන ම ගබඩා කර තැබිය යුතු වේ.

මේ අනුව දැඩි අධිෂ්ඨානයක්, අත්‍යවශ්‍ය ම හේතුවක් ඉවසීමක් නොමැති කිසිවෙකුට ජපානය තුළදී ගිනිඅවියක් භාවිත කිරීමට නීතියෙන් දැඩි සීමාවක් පනවා ඇති අයුරු පැහැදිලි ය.

ජපන් ජාතිකයින් සිය රටේ නීතියට ගරු කරමින් ඊට අවනත වීම නිසා ම ලොව ගිනිඅවි නිසා සිදුවන අපරාධ අවම රටවල් අතරින් එකක් බවට ජපානය පත්ව තිබේ.

එක ම මහපොළවක් මත පිහිටි එක් රටක් සිය පුරවැසියාගේ ශුභ සිද්ධිය වෙනුවෙන් නිවැරදි මාවතක ගමන් කරන්නට ත් අනෙක් රටවල් ඊට හාත්පස වෙනත් මාවතක ගමන් කරන්නට ත් හේතුව ඒ ඒ රටවල ප්‍රතිපත්ති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

ගිනිඅවි නිෂ්පාදනය කරන රටවල් පොහොසත් කරමින් සිය රටේ පුරවැසියන්ට මරුවා සමග යාමට පාර කියා දෙන ලොව බොහෝ රටවල නීතිවලට ජපානය පාඩමක් කියා දෙන බව සඳහන් කළ යුතු ය.

මේ වනවිට ජපානයේ ක්‍රියාත්මක අවිපාලන නීතිය හඳුන්වා දෙනු ලැබුවේ, 1958 වසරේදී ය.

ගිනිඅවි සිවිල් සමාජය තුළ ගිනිඅවි ක්‍රියාත්මක නොවිය බවට වූ මූලික පදනම යටතේ ගිනිඅවි නීතිය බල ගැන්වුණු ලොව පළමු රට ජපානයයි.

මේ අතර රටේ නීතිය හා සාමය රැකීමට සිටින පොලීසිය පවා ගිනිඅවි භාවිත කරන්නේ, ඉතා අල්ප වශයෙනි. එරට ගිනිඅවිවලට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ, ආත්මාරක්ෂක සටන් කලාවන් දෙසට ය. එරට සියලු පොලිස් නිලධාරීන් ජූඩෝ ක්‍රීඩාවේ කලුපටි ලබා සිටිය යුතු වේ.

ජපාන පොලිස් නිලධාරීන්ට කිසිදු හේතුවක් මත රාජකාරී වේලාවෙන් පසු ගිනිඅවිය සන්තකයේ තබා ගැනීමට අවසර නොමැත.

දෙවන ලෝක යුද සමයේ අවිආයුධ නිසා සිදු වූ විපාකයේ අනිසි ඵල අදටත් අත්අවිඳින ජපන් ජාතිකයින් අතීතයෙන් පාඩම් ඉගන ගනිමින් රටේ යහපත වෙනුවෙනි.

ප්‍රචණ්ඩත්වය මැඩලිය හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් නොවන බව ජපාන පොලීසියේ ප්‍රතිපත්තියකි.

1945 අගෝස්තු 6 වන දා අමෙරිකාව හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමෙන් පසු ජපන් වැසියන් 150,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් දින තුනකට පසු නාගසාකි වෙත ද බෝම්බ හෙළූ අතර ඉන් පුද්ගලයින් 74,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.

පහතින් දැක්වෙන්නේ ඊට අදාළ ඡායාරූප කිහිපයකි

images

japan