බාධක මැදින්, මලල ක්‍රීඩා ක්ෂේත්‍රය 2017ට සූදානම් ද ? (Video)

බාධක මැදින්, මලල ක්‍රීඩා ක්ෂේත්‍රය 2017ට සූදානම් ද ? (Video)

By Nadeeshan Meedin

05 Jan, 2017 | 2:13 pm

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම වසර තීරණාත්මක, වර්ෂයක් වනු ඇත. ඒ, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම, ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ද මෙම වසරේදී පැවැත්වීමට නියමිත බැවිනි.

ඊට අමතරව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලයීය මලල ක්‍රීඩා තරගාවලිය ද මේ වසරේ පැවැත්වෙනු ඇත.

ඒ සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් ද ?

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාල සටහන අවසන් වීමත් සමග, ඔවුන් මේ දිනවල ඉදිරි වසරේ තරග කාලසටහන වෙනුවෙන් තම පුහුණුවීම් ආරම්භ කර ඇත.  කෙසේ වෙතත් ඔවුන්ගේ පුහුණුවීම් සිදු කිරීම සඳහා මේ වන තෙක්, සුගතදාස කෘතීම ධාවන තීරුව ප්‍රතිසංස්කරණය කර නොමැත.

එසේම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය  වෛද්‍යාධාර ලබා දීම සඳහා පිහිටුවා ඇති, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ක්‍රියා පිළිවෙත ද අභියෝගයට ලක්වෙමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයා ද ප්‍රකාශයක් කරමින් පැවසුවේ, බෙහෙත් පෙති කිහිපයක් ලබා දීමට පමණක් වෛද්‍ය ඒකකය කටයුතු කරමින් පවතින බවයි.

himasha-eshan-rumeshi-manjula-nimali

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග පැවති පළමු දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ගත් ඡායාරූපයකි. වමේ සිට – හිමාෂ ඒෂාන් (මී100 රන්) , රුමේෂිකා රත්නායක(මී100 රන්), මංජුල කුමාර (උස පැනීම රන්), නිමාලි ලියනාරච්චි (මී800 රන්)

එසේම විශේෂයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබා දෙන අවස්ථා අවම වීම මෙන්ම විශේෂඥ පුහුණුකරුවන්ගේ සහාය නොමැතිවීම ද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති ප්‍රබල අභියෝගයක් වේ.

පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති දකුණු  ආසියානු ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ හා හඳුනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු වුවද,  අදාළ ක්‍රීඩකයන්ට එම අවස්ථාව හිමි නොවිණි.

උදාහරණයක් ලෙස, උස පැනීමේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන මංජුල කුමාරට ඔලිම්පික් වරම් අහිමිවීම දැක්විය හැක.

manjula-kumara-highjump

ඔලිම්පික පරිසාදන මට්ටම පසුකිරීමට තිබූ අවසන් අවස්තාව ගිලිහීමෙන් පසුව මංජුල කුමාර (උස පැනීම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන්නේ ඔහුයි)

ඒ ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා යාම සඳහා අවශ්‍ය වූ තරග සංඛ්‍යාව නොලැබීම හේතුවෙනි. ඔහු මෙන්ම දකුණු ආසියාවෙ වේගවත්ම ක්‍රීඩක හිමාෂ ඒෂාන්ට මෙන්ම ක්‍රීඩිකාව වූ රුමේෂී රත්නායකටද පසුගිය වසරේ අවශ්‍ය ජාත්‍යන්තර තරග ඇතුළුව අභියෝගාත්මක තරගාවලි  අවශ්‍ය ප්‍රමාණයට හිමිවුනේ නැත. එසේම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභි නිමාලි ලියනාරච්චි‍, ඉෂාර සඳරුවන්, ඉඳුනිල් හේරත්ට මෙන්ම පිරිමි හා කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම්වලට උදාවූයේද එම ඉරණම වේ.

ඔවුන්ට සාපේක්ෂව ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල තරගාවලි සංඛ්‍යාවකට සහභාගීවීමේ අවස්ථාව හිමිවීම හේතුවෙන්, බොහෝ පිරිසක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට තරම් වාසනාවන්ත වූහ.

මෙම වසරේ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති අභියෝග මොනවා ද?

asian-athletics-championship-qualification

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට සුදුසුකම් ලබන්නන්ගේ පරිසාදන මට්ටම.

ආසියානු මෙන්ම ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි මෙම වසරේ පැවැත්වීමට නියමිත ය. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ රංචි හිදී ජූලි මාසයේදී පැවැත්වෙන අතර, ලබන අගෝස්තු මාසයේදී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේදීයි.

කෙසේ වෙතත් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයක කිරීම වෙනුවෙන් ලබා දී ඇති පරිසාධන මට්ටම ගැන මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් ලබා දී ඇති පරිසාදන මට්ටම අනුව බොහෝ පිරිසකට ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිවීමේ අවධානමක් පවතී.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාමූහික පැනය වන්නේ, “අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැතිව, ඉහළ පරිසාදන මට්ටමක් බලාපොරොත්තුවීම සාධාරණ ද යන්න වේ.”

එසේ ම ජාතික තලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්,  සුදුසුකම් ලබා ගැනීමේ “trials”  තරගාවලියක් අප්‍රේල් මස අගදී පැවැත්වෙනු ඇත.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව,  කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙම වසර කාර්යබහුල වසරක් වනු ඇත.

ඔවුන් වෙනුවෙන් ද ජාත්‍යන්තර තරගාවලි තුනක් පැවැත්වෙනු ඇත. ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලියීය යොවුන් ක්‍රීඩා උළෙල හා ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය එම තරගාවලි තුන වේ.

2015 වසරේදී ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා රන් පදක්කමක්, හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය. එම වසරේදී ම පැවති පොදුරාජ්‍ය මණ්ඩලියීය ක්‍රීඩා උළෙලේදී රොෂාන් ධම්මික උස පැනීමේ ඉසව්වෙන් හා යමානී දුලංජලී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්විය.

sugathadasa-stadium-damage-2

පසුගිය වසර මුලදී සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරු පැවති ආකාරය

මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් නිසි පහසුකම් ලැබී තිබේ ද ?

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මහගෙදර බඳුවූ සුගතදාස ක්‍රීඩාංගණය මේවනවිට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා වසා දමා තිබීම හේතුවෙන්, ධාවන ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, ජාත්‍යන්තර මට්ටමේ කෘතිම ධාවන පථයක හිමිකම අහිමිව ඇත.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ධාවන පථයේ තත්වයද යෝග්‍ය තත්වයක නැත. එසේම විද්‍යුත් කාල ගණක යන්ත්‍රවල සහාය නොමැතිවීමද පෙන්වා දිය හැක.

මෙම වසරේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් හා සැලසුම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා “ඉන්සයිඩ් ස්පෝර්ට්ස්” වැඩසටහනේදී දැක්වූ අදහස් (වීඩියෝව) 

සුගතදාස ක්‍රීඩාංගණයට කුමක් වේද ? මලල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා අමාත්‍යංශය අතර මත ගැටුමක් තිබේ ද ?

ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් (වීඩියෝව) 

මලල ක්‍රීඩා සංගමයේ සූදානම ?

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා විශේෂ සඳහනක් කරමින් ප්‍රකාශ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මේවනවිට කටයුතු කරන බවය.

මේවන විටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පුහුණුකරුවන්ගේ සහයෝගයද ලබා දී ඇති බව ඔහු සඳහන් කළා.

සුගත් තිලකරත්න මහතා කල ප්‍රකාශය