අමෙරිකානු ඩොලරය රුපියල් 152 ඉක්මවයි

අමෙරිකානු ඩොලරය රුපියල් 152 ඉක්මවයි

අමෙරිකානු ඩොලරය රුපියල් 152 ඉක්මවයි

කර්තෘ Chathuranga Rajapaksha

23 Dec, 2016 | 11:52 pm

අමෙරිකානු ඩොලයරට සාපේක්ෂව රුපියලේ අවම අගය අද වාර්තා විය.

ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල පැවතියේ රුපියල් එකසිය පනස් දෙකයි ශත තිස් දෙකක් ලෙසයි.

2010 වසරේ ජනවාරි 01 වනදා අමෙරිකානු ඩොලරය පැවතියේ රුපියල් 115 ක් ලෙසයි.

අද රුපියල් 152 ඉක්මවා ගිය ඩොලරය 2105 ජනවාරි මාසයේ පැවති අගය රුපියල් 133කි.

මහාචාර්ය සිරිමල් අබේරත්න

[quote]ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑමේ පැති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඇමෙරිකාවේ ඩොලරය ශක්තිමත් වීම අපේ රුපියල් පැත්තෙන් බලනකොට අපිට පේන්න පුළුවන් රුපියල් අවප්‍රමාණ වීමක් වගේ. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල්වල මුදල් අව ප්‍රමාණ වු බව පේනවා ඩොලරය ශක්තිමත්වීමත් සමග. අනිත් පැත්තෙන් ඇමෙරිකාවේ තියෙන වැඩි වෙමින් පවතින පොලි අනුපාත නිසා ඇත්ත වශයෙන්ම අනිකුත් රටවල්වලින් ඇමෙරිකාව දෙසට ප්‍රාග් ධනය ගලාගෙන යෑමක් දකිනවා මේ දවස්වල. එහි අහිතකර බලපෑම ලංකාවටත් තියෙන්න පුලුවන්. ඉතින් එම නිසා ලංකාවේ තියෙන එම විදේශිය ආයෝජන අඩුවීමක් එහෙමත් නැතිනම් ආපසු ගලා යෑමක් දකින්න පුළුවන්[/quote]

මීට පෙර විනිමය අනුපාතිකයන් කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මත විනිමය අනුපාත තීරණයවීමට ඉඩ හැරියේය.

විනිමය අනුපාතික තීව්‍ර ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීමට ශ්‍රී ලංකා මහබැංකුව මැදිහත්ව ඇති බැවින් සිය මැදිහත්වීම සීමා කිරීම සදහා මහබැංකුව ගන්නා තීරණයක ක්ෂණික ප්‍රථිපලයක් ලෙස විනිමය අනුපාත කෙටිකලකදී ඉහළ අවප්‍රමාණයකට ලක්විය හැකි බව මහබැංකුව පෙන්වා දෙන්නේය.

නමුත් එය අනතුරුව යම් ස්ථාවරත්වයකට පැමිණෙනු ඇතැයි මහ බැංකුවේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී අපනයන ආර්ථිකයක් වශයෙන් ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපනයන ඉහළ නංවා ගැනීම සහ විදේශීය සෘජු ආයෝජන ලබාගැනීමත් අරමුණුකරගත් තරගකාරී විනිමය අනුපාතිකයක් පවත්වාගෙනයාම අත්‍යාවශ්‍ය වනු ඇති බව මහබැංකුවේ අදහස වී තිබේ.

මහාචාර්ය සිරිමල් අබේරත්න

[quote]මේක ඇත්ත වශයෙන්ම කෙටිකාලින දෙයක් පමණයි. නමුත් ඊට වඩා වැදගත් වන්නේ, ඊට වඩා ව්‍යුහාත්මක වශයෙන් මුල් බැස ගිය ප්‍රශ්නය වන්නේ අපේ රටේ තියෙන දිගු කාලිනව විනිමය අනුපාත පිරිහිමයි. අපේ රටේ අපනයනය ප්‍රවර්ධනය ඉතා දුර්වලයි. ඒ වාගේම රටට ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉතා දුර්වලයි. ඉතින් මේ කාරනා දෙක නිසා අපේ රටේ කාලයක් තිස්සේ දශක ගණන් තිස්සේ විනිමය අනුපාතය මේ විදිහට අව ප්‍රමාණය වෙමින් තියෙනවා. ඒ අවප්‍රමාණවෙමින් පවතින තත්ත්වයට අමුතුවෙන් ඇතිවුණ කෙටි කාලින බලපෑමක් විතරයි අපිට දකින්න තියෙන්නේ මේ දවස්වල[/quote]