සිරි පා සමය ඇරඹෙන උඳුවප් පෝය අදයි

සිරි පා සමය ඇරඹෙන උඳුවප් පෝය අදයි

සිරි පා සමය ඇරඹෙන උඳුවප් පෝය අදයි

කර්තෘ Sagarika Chathumali

13 Dec, 2016 | 12:33 pm

උඳුවප් පුර පසළොස් වක පොහොය දිනය අදයි.

මෙම පසළොස් වක පොහෝ දිනය සැදැහැවත් බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය සහ ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ මෙරටට වැඩම කරවීම අද වන් උතුම් දිනකදී සිදුවූ බැවිනි.

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටවූයේ පොසොන් පොහෝ දිනකදී ය.

බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා ඇති බව ය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිහිඳු මා හිමියන්, තමාට කාන්තාවන් පැවිදි කළ නොහැකි බව දෙවැනි පෑතිස් රජතුමාට වදාලා ඇතැයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවා ගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ දෙවන පෑතිස් රජුට පෙන්වා දී තිබේ.

සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරන විට ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, එවක දඹදිව වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධන් වහන්සේගේ ශාඛාවක් ද වැඩමවාගෙන එන ලෙස ද දන්වන්නැයි මිහිදු මා හිමියන් දෙවන පෑතිස් රජුට උපදෙස් දී ඇතැයි බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත.

එම ඉල්ලීමට අනුව අද වන් උතුම්වු උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක සංඝමිත්තා මහ තෙරණිය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමකරවී ය.

අද වන විට මේ මිහිතලයේ ජීවමානව තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතා පැරැණිතම වෘක්ෂය ලෙස ත්, ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් – ජීවමාන බුදුන් හා සමාන කොට බෞද්ධයන් විසින් සලකනු ලබයි.

මේ අතර ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය අදින් ආරම්භ වේ.

ශ්‍රී පාද විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්දින්න හිමියන් ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ සංවරව හා විනීතව පැමිණීමට වග බලාගන්නා ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]