රුසියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට පුටින් හා ට්‍රම්ප් ගිවිස ගනිති

රුසියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට පුටින් හා ට්‍රම්ප් ගිවිස ගනිති

රුසියාව සහ අමෙරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට පුටින් හා ට්‍රම්ප් ගිවිස ගනිති

කර්තෘ Sakila Udayakumara

15 Nov, 2016 | 10:50 am

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් එක්ව දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට උත්සහ කරනු ඇති බව ක්‍රෙම්ලිනය පවසයි.

දෙදෙනා අතර ඇති වූ දුරකතන සංවාදයක් පදනම් කර ගනිමින් ක්‍රෙම්ලිනය එම ප්‍රකාශය කළ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ වැඩසටහන ආරම්භයේදී ම එහි සාර්ථකත්වයට රුසියානු ජනපතිවරයා සුබ පැතූ බව ය.

එමෙන් ම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙරට අතර කල්පවත්නා සබඳතාවයන් ඇති කර ගත යුතු බව ද පුටින්, ට්‍රම්ප් සමගින් දුරකතන සංවාදයකදී පැවසූ බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසන්නේ, නේටෝ සංවිධානය ශක්තිමත් කිරීමට තමන් කැපවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ය.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ දුරකතන සංවාදයේදී සිරියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව ක්‍රෙම්ලින් වාර්තා අනාවරණය කර තිබේ.

එම වාර්තාවෙහි දැක්වෙන්නේ, රුසියාව සහ අමෙරිකාව අතර සබඳතාවන්හි වත්මන් තත්ත්වය අතිශයින් ම අසතුටුදායක වන බැවින් එය ශක්තිමත් කිරීමට පුටින් සහ ට්‍රම්ප් ගිවිස ගත් බව ය.

2017 වසර වන විට රුසියාව සහ අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 210ක් සපිරෙන බව ත් එම සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ත් දෙදෙනා අතර සාකච්ඡාවට බඳුන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

අවසන් වශයෙන් ක්‍රෙම්ලින් වාර්තාව අනාවරණය කර ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් හා අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා කිරීමේ එකඟතාවෙන් දුරකතන සංවාදය නිමා කළ බව ය.