MTV ආයතනය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් බිලියන 25ක වන්දියක් ඉල්ලයි

MTV ආයතනය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් බිලියන 25ක වන්දියක් ඉල්ලයි

MTV ආයතනය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් බිලියන 25ක වන්දියක් ඉල්ලයි

කර්තෘ Sagarika Chathumali

02 Nov, 2016 | 7:32 pm

රුපියල් බිලියන 25ක වන්දියක් ඉල්ලා MTV චැනල් පුද්ගලික සමාගම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට නීතිඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දීමක් කළේ ය.

මේ දැනුම්දීම සිදු කළේ, ඔවුන් MTV  චැනල් පුද්ගලික සමාගමට එවා තිබූ එන්තරවාසියට පිළිතුරු සපයමිනි.

පසුගිය ඔක්තෝම්බර් මස 13 වන දිනැති එන්තර වාසියෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම දන්වා තිබුණේ, එම මාසයේ 11 වන දා පැතිකඩ වැඩසටනින් අපහාසාත්මක ප්‍රකාශ පළ වූ බව ය.

ඊට පිළිතුරු සපයමින් MTV චැනල් පුද්ගලික සමාගම නිතී මුරුගේසූ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මගින් අද පිළිතුරු ලිපියක් යවා තිබිණ.

ඉන් පෙන්වා දී තිබුණේ, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඔවුන්ගේ එන්තරවාසි‍යේ සඳහන් කර ඇති සියලු කරුණු MTV චැනල් පුද්ගලික සමාගම තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

ආවේණික බොළඳ හැසිරීම ප්‍රකට කරමින් පර්පෙචුවෙල් සාමාගම තම සේවාදායකයා බිය ගැන්වීමට උත්සාහ දරා ඇතැයි පිළිතුරු ලිපියේ අවධාරණය කර තිබේ.

ජනතාවගේ අපේක්ෂාවන් කෙරෙහි බලපාන කරුණු වාර්තා කරමින් සාකච්ඡා කරමින් අනාවරණ කරමින් දැනුවත් කිරීම තම සේවා දායකයාගේ ප්‍රමුඛ කාර්යය බව ඉන් සිහිපත් කර තිබේ.

පිළිතුරු ලිපියේ අවධාරණය කරන්නේ වාර්තාකරණයේදී ඇගයීමට මෙන් ම සම්මානයට පාත්‍රවූ MTV චැනල් පුද්ගලික සමාගම සුපිළිපන්භාවය හා හර පද්ධතීන් ආරක්ෂා කරමින් මාධ්‍ය නිදහසේ හා වාර්තාකරණයේ උපරිම අරමුණු වෙනුවෙන් කැපවී සිටින බව ය.

මේ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම යම් නීතිමය පියවරක් ගත හොත් MTV චැනල් පුද්ගලික සමාගම ද රුපියල් බිලියන 25 ක වන්දියක් ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිතී මුරුගේසූ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම යැවූ ලිපියේ සඳහන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]