ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය – ජනපති ඉන්දියාවේදී කියයි

ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය – ජනපති ඉන්දියාවේදී කියයි

කර්තෘ Hashini De Mel

17 Oct, 2016 | 10:30 pm

දෙදිනක ඉන්දීය නිල සංචාරය අවසන්කරමින් ජනාධිපතිතුමා අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

ඊයේ බිම්ස්ටෙක් නායක හමුව අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ, ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය හිමිවන බව ය.

බ්‍රසීල, රුසියා, ඉන්දියා, චීන හා දකුණු අප්‍රිකා රටවල නායක හමුව හෙවත් බ්‍රික්ස් සමුළුවට සමගාමිව ඊයේ ගෝවා නගරයේදී බිම්ස්ටෙක් හෙවත් බෙංගලාබොක්ක ආශ්‍රිත කලාපයේ රටවල නායක හමුව පැවැත්විය.

ශ්‍රී ලංකාව, තායිලන්තය, භුතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, බංග්ලාදේශය යන රටවල නායකයින් ඊට සහභාගිවූ අතර ජනාධිපතිතුමා විශේෂ දේශනයක් කරමින් පැවසුවේ බිමිස්ටෙක් රටවල් සමූහයේ සංවර්ධන සක්‍යතා වර්ධනය කර ගැනීමට මෙවැනි සහයෝගීතා සමුළු ඉතා වැදගත් බව ය.

තව ද මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ චින ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවිය.

එහිදී ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව චීන ජනපතිවරයා පවසා තිබේ.

ඔහු පෙන්වාදී ඇත්තේ දෙරට අතර දීර්ඝ කාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ය.

වෙළඳ, වරාය මෙහෙයුම් හා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යනාදී ක්ෂේත්‍ර වලදි වඩාත් ගැඹුරු සබඳතාවකින් කටයුතු කිරීමට සූදානම් බවද චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පැවතුණු දැඩි මිත්‍රත්වය වර්තමානය වන විට වඩාත් ශක්තිමත්ව ඇති බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් මහතාද හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ය.