කතානායක කරු ජයසූරිය සිය දිවි ගමනේ 76 වන පියවර තබයි (VIDEO)

කතානායක කරු ජයසූරිය සිය දිවි ගමනේ 76 වන පියවර තබයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Sep, 2016 | 8:24 pm

ආවොත් කරු පායයි හිරු…

එම පාඨය මෙරට මැතිවරණ ඉතිහාසය දන්නා කියන බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු වැකියක් නොවේ.

අද සිය දිවි ගමනේ 76 වන පියවර තබන මේ සුවිශේෂී දේශපාලනඥයා අන් කිසිවෙකුත් නොව කතානායක කරු ජයසූරිය මහතා ය.

මේ, ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රබල භුමිකාවක් හිමි එම මහත්මා දේශපාලනඥයා පිළිබඳව නිව්ස්ෆස්ට් තබන ගෞරවණීය සටහනක්.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය ද්විතීක අධ්‍යාපනය නිම කළ ඔහු බ්‍රිතාන්‍ය වරලත් නාවික නියෝජිත ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපන හැදෑරී ය.

බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ උසස් අධ්‍යාපන අයතන කිහිපයකින් අලෙවිකරණය හා වාණිජ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරූ කරු ජයසූරිය මහතා 1965 වසරේදී සිය ජීවිතයේ තබන්නේ සුවිශේෂී පියවරකි.

ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹමිනි.

සමාගම් 52කට සිය නියාමක දායකත්වය ලබා දුන් කරු ජයසූරිය මහතා මෙරට බිහි වූ ප්‍රකට පරිපාලකයෙක් මෙන් ම කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

කලක් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජයසූරිය මහතා 1997දී කොළඹ පුරපතිවරයා ලෙස පත් විණි.

260,000 ඉක්ම වූ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් 1999 වසරේදී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වන්නේ, දේශපාලන ගමන් මගේ සිය විශිෂ්ටත්වය යළි යළි ත් තහවුරු කරමිනි.

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය හෙබ වූ කරු ජයසූරිය මහතා 2001දී පාර්ලිමේන්තු වරම් ලැබී ය.

එක්සත් ජාතික පෙරමුණු රජයේ විදුලිබල අමාත්‍යවරයා වූ කරු ජයසූරිය මහතා පසුව රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ ය.

මෙරට 08 වන පාර්ලිමේන්තුවේ ගරු කතානායක ධූරයට පත් කර ගන්නා ඔහු සිය දේශපාලන දිවියේ අභියෝගාත්මක කාර්යක් ඉටු කිරීම ආරම්භ කළේ ය.

ජනවාරි 08 විප්ලවයත් සමගින් බිහි කෙරෙන සම්මුතිවාදී ආණ්ඩුවේ දේශ හිතෛෂි ව්‍යවස්ථාමය වෙනස්කම් රැසක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට පැවරෙන අතර කරු ජයසූරිය මහතාට එහි නියාමක කාර්යය පැවරී තිබේ.

පක්ෂ විපක්ෂ මතවාද මෙන් ම ගැටුම්කාරී වාතාවරණයන් තුළ ද සිය රාජ්‍යතාන්ත්‍රික භාවය හා දේශපාලන පරිණත භාවය යළි යළි ත් ප්‍රකට කරමින් ධූරයේ ගෞරවාන්විත භාවය මෙන් ම මධ්‍යස්ථ භාවය ද ආරක්ෂා කිරීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක තුමනී ඔබට සුබ උපන් දිනයක්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]