දුක කඳුළු වෙනුවට ජන නෙතගට තුටු කදුළු ගෙනා ගම්මැද්ද දින 100 : 50 දිනක පසුවිපරම #Gammadda100

දුක කඳුළු වෙනුවට ජන නෙතගට තුටු කදුළු ගෙනා ගම්මැද්ද දින 100 : 50 දිනක පසුවිපරම #Gammadda100

කර්තෘ Sagarika Chathumali

07 Sep, 2016 | 8:30 pm

ජනතාව සමග එක්ව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක News 1st ගම්මැද්ද දින 100 අද 50 වන දිනය පසු කළේ ය.

ජනදුක විමසමින් ගෙයින් ගෙට ගොස් ගම්මැද්ද රැස්කළ තොරතුරු පසුව පේරාදෙණිය සරසවියේ ද සහය ලබා ගනිමින් වාර්තාවක් ලෙස සකස් කෙරිණ.

තොරතුරු ලේඛනයකට සීමා නොවී යම් පමණකින් හෝ ජන දුක නිවාලන්නට කාලය උදාවී ඇතැයි පසුව අපි තීරණය කළෙමු.

අදින් දින 50 කට පෙර ගම්මැද්ද දින 100 ආරම්භ වූයේ, එම සිතුවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ප්‍රමුඛතාව හඳුනාගත් ව්‍යපෘති ගණනාවක් තෝරාගත් ගම්මැද්ද දින 100 ඒවා ක්‍රියාවට නැංවීම ඇරඹුවේ ජනතාව සමග ජනතාව වෙනුවෙන් පෙළ ගැසෙමිනි.

රුපියලෙන් රුපියල එක් වූ ශක්තිය මත අප මේ වන විට ව්‍යාපෘති ගණනාවක් නිමකර අවසන් ය.

අගෝස්තු මස 3 වනදා දමනයායෙන් ගමන ඇරඹුවේ වසර 20 ක් වල්බිහිවූ මාර්ගය යළි පිළි සකර කර දෙමිනි.

හලාවත වැල්ල ධීවර ජීවිත බිලිගත් කටුක අඳුර දුරලමින්, පතලයාගමට අප ගියේ වන අලි ගැටලුවට විසඳුම් රැගෙන යි.

හම්බෙගමුව, කිවුලගමට පිරිසිදු පානීය ජලය දුන් අප මාලිම්බඩ කද්දූවේදී චීනගහබෙන ඇල පිළිසකර කළේ ය.

වැල්ලවල – A, වැල්ලවල -B සහ දියවේල්ල ජනතාවට පිරිසිදු ජලය ලබාදුන් පසු කැබිතිගොල්ලෑව ගෝනහද්දෙනාව ගමට ද ජලය ලබා දීමට ගම්මැද්ද දින 100යට හැකි විය.

වැලිගම බොරාලේ ජනතාවට දශක 6 ක් නොදුටු පිරිසිදු ජලය දකින්නට හැකිවූයේ ද ගෙවුණු දින 50 තුළදී ය.

දුක් කදුළු වෙනුවට සතුටු කදුළු සලන ජනතාවගේ ආශිර්වාදය, ගම්මැද්ද දින 100 ගමනේ ශක්තියයි.

ඇස නොගැටුණු, අවධානයෙන් ගිලිහුණු ඈත එපිට ගම්මාන රැසක තවත් ව්‍යාපෘති ගණනාවක් අවසන් අදියරට ළගා වෙමින් පවතී.

විඳි දුක් තුරන් කරමින් සතුට ද රැගෙන හෙට දිනයේ මේ ව්‍යාපෘති ජනසතු වනු ඇති.