නීති විරෝධී අතුරුදන්වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය අදයි: රට වටා සාමකාමී විරෝධතා (VIDEO)

නීති විරෝධී අතුරුදන්වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය අදයි: රට වටා සාමකාමී විරෝධතා (VIDEO)

කර්තෘ Sakila Udayakumara

30 Aug, 2016 | 10:33 pm

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අද යි.

හඳුනා නොගත් ස්ථානවල රඳවා තබා ගැනීම සහ ඥාතීන්ගේ දැනුවත් භාවයෙන් තොරව, එසේත් නැති නම් විවිධ නීති හේතූන් මත අත්අඩංගුවට පත්ව පසුව අතුරුදන්වූවන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නම් කර තිබේ.

1981 වර්ෂයේ කොස්ටරිකාවේදී පිහිටවනු ලැබූ අත්අඩංගුවට පත්ව අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් ලතින් අමෙරිකාවේ රහසිගත ලෙස අතුරුදන් කිරීම්වලට මෙවන් දිනයක් ප්‍රකාශ කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබී ය.

අතුරුදන් වන පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා වූ ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ මහා සභාව 1992 වසරේ දෙසැම්බර් 18 වන දා අනුමත කළේ ය.

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද ශ්‍රී ලංකාවේ ද විවිධ වැඩසටහන් පැවැත්විණි.

අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව, නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධාන කළ වැඩසටහනක් අද උදෑසන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

එහි තේමාව වූ‍යේ, අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සාදරයෙන් පිළිගනිමු යන්න යි.

පිරිස පසුව විහාර මහා දේවි උද්‍යානයේ සිට ‍ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගොස් සිය ඥාතීන්ගේ අතුරුදන්වීම්වලට විරෝධය පළ කළහ.

මෑත කාලයේ අතුරුදන්වූවන් පිළිබඳව කෙරෙන සාකච්ඡාවේදී වඩාත් කතාබහට ලක් වූයේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් දෙදෙනෙකු වූ කූගන් මුරුගානන්දන් හා ලලිත් කුමාර් වීරරාජ යන මහත්වරුන් පිළිබඳව යි.

2010 වසරේ ජනවාරි 24 වන දා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබඳව තොරතුරක් වසර 5ක් ගතව ගිය ද තවමත් ලැබී නොමැත.