පහේ හපනුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

පහේ හපනුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

පහේ හපනුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

කර්තෘ Sakila Udayakumara

20 Aug, 2016 | 7:09 am

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන අපේක්ෂකයින් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, ප්‍රශ්න පත්‍රය සඳහා තිබෙන කාලය පිළිබඳව අපේක්ෂකයින්ට අවබෝධයක් තිබිය යුතු බව ය.

පළමු පත්‍රය පෙරවරු 9.30 සිට 10.15 දක්වා විනාඩි 45ක කාලයක් පැවැත්වෙන අතර දෙවන පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 1යි විනාඩි 15ක කාලයක් පැවැත්වේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, පෙරවරු 9.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවේ අසුන්ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව ය.

ඒ අනුව කල් වේලා ඇතිව අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ඔහු සඳහන් කළේ ය.

විභාග අපේක්ෂකයින් තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතු අතර පිළිතුරු සැපයීමේදී පැන්සල හෝ පෑන භාවිත කළ හැකි ය.

විභාග අංකය නිවැරදිව සටහන් කළ යුතු අතර ඒ සඳහා සෑම ප්‍රශ්න පත්‍රයක ම 01 සහ 03 පිටුවල ඉඩ තබා ඇති බව ද පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

පිළිතුරු සැපයීමේදී ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ත් කටුවැඩ සඳහා කොළ ලබා දෙන බව ත් ඔහු පවසයි.

ප්‍රශ්න පත්‍රය අතට ගත් පසු කලබල නොවන ලෙස ත් හොඳින් කියවා බලා පිළිතුරු සපයන ලෙස ත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වේ.

මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 350,701කි.

දිවයින පුරා මධ්‍යස්ථාන 2959කදී විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අනුයුක්තව ඇති කාර්ය මණ්ඩලය 28,000කට අධික ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]