අපේක්ෂාවේ ගිනිසිළුව රට වටා ගමන් අරඹයි (VIDEO)

අපේක්ෂාවේ ගිනිසිළුව රට වටා ගමන් අරඹයි (VIDEO)

කර්තෘ Staff writer

14 Jul, 2016 | 9:09 pm

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන අපේක්ෂාවේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් ආරම්භ කළේ ය.

මෙම චාරිකාව පැවැත්වෙන්නේ, දිවයිනේ සියලු ම දිස්ත්‍රික්කවල ජනතාවගේ සුභාශිංෂන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමීමේ අරමුණ ඇතිව ය.

සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානය හා නිව්ස්ෆස්ට් සංවිධාන කරන මීට, ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික තරුණ සේවා සභාව සහය දක්වයි.

අපේක්ෂාවේ ගිනිසිළුව රැගත් චාරිකාව අද නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආරම්භ වූයේ ජාත්‍යන්තර පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරු ද සහභාගී වූහ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා, කැපිටල් මහරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එයට පැමිණියහ.

ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් හෙල්ල විසි කිරීමේ ශූර සුමේද රණසිංහ, බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, පිහිණුම් ශූර මැතිව් අබේසිංහ හා ඉලක්කයට වෙඩි තැබීමේ ශූර මංගල සමරකොන් අද පැවති අපේක්ෂාවේ ගිනිසිළුව සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

ඔවුන්ට අමතරව සුදුසුකම් ලබා සිටින මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, පිහිණුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම්, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන හා බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස් මේ දිනවල විදෙස්ගතව පුහුණුවීම් සිදු කරන අතර, මැරතන් ශූරිය වන නිලූකා රාජසේකර පුහුණුවීම් සිදු කරන්නේ නුවරඑළියේ ය.

2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම හිමි කර ගත් සුසන්තිකා ජයසිංහ හා ඔලිම්පික් ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ අපේක්ෂාවේ ගිනිසිළුව රැගත් චාරිකාව ආරම්භ කළහ.

අද සිට දින 23ක් නගර ගම් දනව් හරහා දිවයින පුරා චාරිකාවේ යෙදෙන අපේක්ෂාවේ ගිනිසිළුව, අගෝස්තු 5 වන දා කොළඹ බලා පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ තූර්ය වාදක කණ්ඩායම අද සමාරම්භක උළෙල වර්ණවත් කළේ ය.

අද පුත්තලමට ළඟා වූ අපේක්ෂාවේ ගිනිසිළුව හෙට අනුරාධපුරය බලා පිටත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]