පළාත් පාලන ආයතන 23ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 23ක නිල කාලය අදින් අවසන්

By Sagarika Chathumali

Jun 30, 2016 | 10:20 am

පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අදින් අවසන් වීම ත් සමග සියලු ම පළාත් පාලන අයතනවල නිල කාලය අවසන් වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මේ අතරට මහ නගර සභා 17 ක් නගර සභා එකක් සහ ප්‍රාදේශීය සභා 5 ක් අයත් වේ.

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මහ නගර සභාවල නිල කාලය අදින් අවසන් වේ.

එසේම ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, අනුරාධපුර සහ කල්මුණේ යන මහ නගර සභාවල නිල කලාය ද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

කොළොන්නාව නගර සභාවේ නිල කාලය ද අද අවසන් වේ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, කඩවත්සතර ගගවටකෝරළේ, කුණ්ඩසාලේ සහ හම්බන්තොට මෙන් ම සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල කාලය ද අද අවසන් වීමට නියමිතව ඇත.

අදාළ පළාත් පාලන ආයතනවල නිල කාලය 2015 ඔක්තෝබර් මස ප්‍රථමයෙන් අවසන් විය.

පළමුවරට දෙසැම්බර් 31 වන දා දක්වා එහි නිල කාලය දීර්ඝ කරනු ලැබී ය.

දෙවන වරට ත් එතැන් සිට ජුනි මස 30 වන දා එනම් අද දින දක්වා අදාළ පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට පියවර ගැනිණ.

දිවයින පුරා පළාත පාලන ආයතන 335ක් ක්‍රියාත්මක ය.

එම සියල්ලෙහි නිල කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බැවින් එහි කාලය තව දුරටත් දීර්ඝ කරන්නේ ද නැතහොත් කොමසාරිස්වරයෙකු යටතට පත් කරන්නේ ද යන්න පිළිඳව මෙතෙක් තීරණය කර නොමැත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසන්නේ මේ පිළිබඳව අද මධ්‍යම රාත්‍රියට පෙර අවසන් තීරණයක් ගන්නා බව ය.