දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ලබන පළමු වන දායින් පසුව අහෝසි වීමේ අවදානමක් (VIDEO)

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ලබන පළමු වන දායින් පසුව අහෝසි වීමේ අවදානමක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

14 Jun, 2016 | 7:47 pm

පසුගිය රජය සමයේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සෙවීම සඳහා ස්ථාපිත කළ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ලබන පළමු වන දායින් පසුව අහෝසි වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ, එහි කාලය අවසන් වීමට නියමිතව තිබුණත් කාලය දීර්ඝ කිරීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව පසුගිය වසරේ පෙබරවාරි මස 11 වන දා පැවති කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරිණි.

එමගින් අපේක්ෂා කළේ, පසුගිය රජය සමයේ සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා විමර්ශනය කිරීම සහ ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට විරුද්‍ධව නීත්‍යානූකූලව පියවර ගැනීම මෙන් ම අනාගතයේ එවැනි සිදුවීම් වැළෑක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ය.

එම ලේකම් කාර්යාලය පසුගිය කාලය තු‍ළ පැමි‍ණිලි 300කට අධික ප්‍රමාණයක් පිළිබඳව මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කර තිබේ.

එසේ යොමු කරන පැමි‍ණිලි පිළිබඳව පසුවිපරමක නිරත වීම ද මෙම ලේකම් කාර්යාලයෙන් සිදු වූ තව ත් සේවාවකි.