කොකේන් කිලෝග්‍රෑම් 85ක් බ්‍රසීලයෙන් ගෙන් වූ සීනි කන්ටේනරයකින් සොයා ගැනේ (VIDEO)

කොකේන් කිලෝග්‍රෑම් 85ක් බ්‍රසීලයෙන් ගෙන් වූ සීනි කන්ටේනරයකින් සොයා ගැනේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

14 Jun, 2016 | 7:03 pm

ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ තිබී සොයා ගත් කොකේන් තොගය මෙරටදී හමු වූ වැඩි ම වටිනාකමකින් යුත් කොකේන් තොගය බව මුදල් අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය පවසයි.

කොකේන් කිලෝග්‍රෑම් එකක් රුපියල් කෝටි 3ක පමණ වෙළෙඳපොළ වටිනාකමකින් යුක්ත වන අතර අද සොයා ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 85කි.

‍වසර 25ක පමණ කාලයක සිට පිටකොටුවේ සීනි ආනයනය කරන ව්‍යාපාරයක නමට බ්‍රසීලයේ සිට එවා තිබූ සීනි කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයා ගැනිණි.

කලක සිට මෙම කන්ටේනර් තුළ මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ලැබී තිබූ තොරතුරු අනුව කළ විමර්ශනයකදී අදාළ කොකේන් තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

අදාළ කන්ටේනරය රේගුවේ ස්කෑන් පරික්ෂාවකට ලක් කර තිබුණත් එම පරික්ෂාවේදී බහලුම් තුළ මත්ද්‍රව්‍ය ඇති බවට සනාථ වී නොමැත.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකයේ නිලධාරීන් අදාළ සීනි තොගය නැවත පරික්ෂාවට ලක් කර තිබේ.

මේ අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඔරුගොඩවත්ත බහලුම් අංගනයට පැමිණියේ ය.

මුදල් අමාත්‍යංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය පැවසුවේ, අදාළ සීනි ආනයනික සමාගමේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

විදේශ ගතව සිටින බව කියන තව ත් ප්‍රධාන සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක අතර ඉදිරි කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දීමට නියමිත ය.