ශ්‍රී ලංකාවට එරෙහි සිව් වැනි එක්දින තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි සිව් වැනි එක්දින තරගයේ ජය එංගලන්තයට

By Sagarika Chathumali

30 Jun, 2016 | 6:49 am

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති සිව් වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.

එංගලන්ත කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරගයකදී වැඩි ම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගයක් ජය ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ය.

කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් මුලු ලකුණු 8 ක් ව තිබියදී එක් ලකුණකට දුවද්දී දැවී ගියේ ය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් විඑක් ඉනිමක් පන්දුවාර 42 කට සීමා කිරීමට නිසුරුවරු තීරණය කළහ.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කළහ.

ඉනිමේ වැඩි ලකුණු ලාභියා වු කුසල් මෙන්ඩිස් ලකුණු 77 ක් රැස් ක‍ළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 305 ක් රැස් කළේ ය.

ඩේවිඩ් විලී සහ ආදිල් රශීඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 42 කදී හිම්වු ඉලක්කය ලකුණු 308 කි.

එම ඉලක්කය සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල මොයින් අලී ලකුණු 2 කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 18 ක් ලෙස සටහන්ව තිබියදී ය.

අනතුරුව ජේසන් රෝයි සමඟින් ජෝ රූට් දෙවැනි කඩුල්ලට ලකුණු 149 ක සබඳතාවක් ගොඩ නැගූහ.

එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කළ ජේසන් රෝයි ලකුණු 162 ක් රැස් කළේ ය.

එය එංගලන්ත පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර ඉනිමකදී වාර්තා කළ 2 වන ඉහළම ලකුණු සංඛ්‍යවයි.

ජෝ රූට් ලකුණු 65 ක් රැස් කළේ ය.

එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.

නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් සහ ධනුෂ්ක ගුණතිලක අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි තරගයේ වීරයා විය.

තරග 5කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස මේ වන විට සත්කාරක එංගලන්තය ඉදිරියෙන් සිටී.