විපතට පත්ව රෝගී වූ ජනතාවට නිව්ස්ෆස්ට් සුව යාත්‍රාවෙන් සහන

විපතට පත්ව රෝගී වූ ජනතාවට නිව්ස්ෆස්ට් සුව යාත්‍රාවෙන් සහන

කර්තෘ Sakila Udayakumara

28 May, 2016 | 9:44 pm

හදීසි ආපදා තත්ත්වයන් වලදී ජන දුක වෙනුවෙන් නිරතුරුව පෙනී සිටි නිව්ස්ෆස්ට් අපදාවට ලක්වූ ජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් සිරස, ශක්ති, ජෝන් කීල්ස් සුව යාත්‍රාව අද ක්‍රියාත්මක කළේය.

ඒ, කැලණිය රජමහා විහාර පරිශ්‍රයේදී ය.

කැලණි ගඟ පිටාර ගැලීමත් සමග ධන සම්පත මෙන්ම සුව සම්පත ද අහිමි වූ ජනතාවගේ සුව සම්පත යළි තහවුරු කිරීමේ අරමුණින්, දියත් කළ සුව යාත්‍රාව අද උදෑසන ආරම්භ වූයේ කැලණිය රාජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි ආශිර්වාදය සමගිනි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාව විශාල පිරිසක් අද පෙරවරුවේ සිට වෛද්‍ය කණ්ඩායම්වලින් ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණ සිටියහ.

ඖෂධවේදීන්, භෞතික චිකිත්සකවරුන්, වෛද්‍ය රසායනික කාර්මික විද්‍යාඥයින්, ඊ.සී.ජී. තාක්ෂණවේදීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම් රැසක් තම දායකත්ව අද දිනය පුරා ලබාදුන්නේ මිනිසෙක් අසරණ වූ තැන මිනිසෙකුට පිහිට මිනිසෙකුගෙන්ම පමණක් බව පසක් කරමින් ය.

මේ අතර ගංතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට වියළි සලාක ඇතුළු ද්‍රව්‍ය ආධාර ද පිරිනැමීමට අපි කණ්ඩායම කටයුතු කළේය.

ජනාධිපති දියණිය, චතුරිකා සිරිසේන මහත්මිය ද සුව යාත්‍රාවට එක් වුවාය.

මේ සත්කාරයට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඊබීස් ආයතනය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ද නිව්ස්ෆස්ට් හා අත්වැල් බැඳ ගත්හ.