අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ (VIDEO)

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ (VIDEO)

කර්තෘ Staff writer

06 Apr, 2016 | 9:49 pm

රැකියා විරහිත උපාධිධාරි සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹදී පැවැතිණ.

ඒ, උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස හා වාර්ශිකව රැකියා ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙස රජයට බල කරමිනි.

එම කරුණ මුල්කර ගනිමින් ඔවුන් කොළඹ, බැස්ටියන් මාවතේ අඛණ්ඩ සත්‍යග්‍රහයකද නිරතව සිටි අතර මේ වන විට දින 50 ක් සපිරෙයි.

බැස්ටියන් මාවතින් ආරම්භ කළ විරෝධතා පාගමන ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සහ කළ ද පොලීසිය ඊට ඉඩ නොදුනි.

පොලීසියේ බාධා කිරීම් හමුවේ විරෝධතාකරුවන් විසිර ගියහ.

විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් මාර්ගය පැය එකහමාරක පමණ වසා තැබිණ.

උතුරුමැද පළාතේ උසස්පෙළ සමතුන් පිරිසක් අද අනුරාධපුර පළාත්සභාව කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒ,ගුරුසේවයට උසස්පෙල සමතුන් බඳවාගැනීමේ තරග විභාගය උතුරු මැද පළාත තුළ නතර කිරීමට විරෝධය පළකරමිනි.

විරෝධතාකරුවන් පවසන්නේ, අදාළ විභාගය සඳහා විභාග ගාස්තු ලෙස රු.500 ක මුදලක් ද තමන්ගෙන් ලබාගත් බව ය.

උසස්පෙළ සමතුන් 20,000 ක් පමණ විභාගයට අයදුම්කර තිබේ.

ගුරුවරුන්ට තම දරුවන් ඔවුන් සේවය කරන පාසැල් වලට ඇතුළත් කරගැනීමේ අවස්ථා අවහිර කර ඇතැයි පවසමින් මෙම උද්ඝෝශණය පැවැත්වුණේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ය.

මෙහිදි විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට අධ්‍යපාන බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය.