බ්‍රසීලයේ පාලක සන්ධානයේ විශාල ම පක්ෂය ආණ්ඩුවෙන් ගැලවෙයි

බ්‍රසීලයේ පාලක සන්ධානයේ විශාල ම පක්ෂය ආණ්ඩුවෙන් ගැලවෙයි

බ්‍රසීලයේ පාලක සන්ධානයේ විශාල ම පක්ෂය ආණ්ඩුවෙන් ගැලවෙයි

කර්තෘ Sagarika Chathumali

30 Mar, 2016 | 11:36 am

බ්‍රසීලයේ පාලක සන්ධානයේ විශාලතම පක්ෂය වන පී.එම්.ඩී.බී. පක්ෂය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායකත්ව හමුවකදී තීරණය කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ සිටින සිය අමාත්‍යවරුන් 6 දෙනා ඉන් ඉවත්විය යුතු බව ය.

පී.එම්.ඩී.බී. පක්ෂයේ මෙම ක්‍රියාවෙන් ජනාධිපති ඩිල්මා රූසෙෆ්ට එරෙහිව ගෙන ඒමට නියමිත දෝශාභියෝග යෝජනාව කඩිනම් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බ්‍රසීලයේ සංචාරක අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසුව එම පක්ෂය මෙම තීරණයට එළැඹිණ.

සීඝ්‍රයෙන් වර්ධනය වූ මුල්‍ය හිඟය පියවීමේ අරමුණින් බ්‍රසීල ජනාධිපතිනිය මුදල් ගිණුම් අයථා ලෙස පාලනය කළ බව පවසමින් ඇය බලයෙන් ඉවත්කිරීමට එරට විපක්ෂය සූදානම් වේ.

පී.එම්.ඩී.බී. පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීම හමුවේ බ්‍රසීල ජනාධිපතිනිය සිය අමෙරිකානු සංචාරය ද අවලංගු කළේ ය.

මෙම තත්ත්වය මත ලබන මැයි මාසය වනවිට බ්‍රසීල ජනාධිපතිනියගේ කටයුතු තාවකාලිකව අත්හිටුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අතරතුර බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් ස්ථිරව ම ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු ද යන්න පිළිබඳව සෙනෙට් සභාව තීරණය කරනු ඇති.

වත්මන් තත්ත්වය හමුවේ බ්‍රසීලය වර්තමානයේ උග්‍ර ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී.