තව දුරට ත් කඩින් කඩ විදුලිය බිද වැටීම්: බියගම ට්‍රාන්ස්පෝමරයට සිදුවූ හානිය පිළිබඳව පොලීසියට පැමිණිලි

තව දුරට ත් කඩින් කඩ විදුලිය බිද වැටීම්: බියගම ට්‍රාන්ස්පෝමරයට සිදුවූ හානිය පිළිබඳව පොලීසියට පැමිණිලි

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2016 | 9:20 pm

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය සැපයුම වරින් වර බිඳ වැටුණි.

ඊයේ සවස 2.20 ට පමන මුළු දිවයිනේම විදුලිය සැපයුම බිද වැටුණු අතර මධ්‍යම රාත්‍රිය වනවිටත් බොහෝ ප්‍රදේශවල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි විය.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ බියගම පිහිටි ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්පෝමරයක් පුපුරා යාමෙන් මේ තත්ත්වය ඇති වූ බව ය.

මෙම හානියත් සමග පද්ධතියේ ඇතිවූ අසමතුලිතභාවය නිසා නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර ස්වයංක්‍රීයව අක්‍රීය වූ බව විදුලි ඉංජිනේරුවන් පවසති.

දිවයින පුරා විදුලිය ඇනහිටියේ එම ජනක යන්ත්‍ර අක්‍රීයවීමත් සමගිනි.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර තුනම අක්‍රියවී ඇති අතර එය යළි පන ගැන්වීමට අවම වශයෙන් දින 3 ක්වත් ගත වේ.

මෙම විදුලි බලාගාරය අක්‍රියවීමෙන් ජාතික පද්ධතියට සැපයෙන සියයට 42.4 ක විදුලි සැපයුම අහිමි වී ඇති අතර පවතින කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 20 කට සීමා වී තිබේ.

මේ තත්වය තුළ අද වන විට ජාතික විදුලි බල පද්ධතිය සියයට 80 ක් රඳා පවතින්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉන්ධන බලාගාර මතයි.