‘අබිලිං’ ජීවන රඟ මඩලෙන් සමුගනී (VIDEO)

‘අබිලිං’ ජීවන රඟ මඩලෙන් සමුගනී (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

15 Jan, 2016 | 5:36 pm

ප්‍රවීන රංගන ශිල්පි චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අද අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු අද මිය ගියේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ අබිලිංගේ චරිතයට පණපෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මෙන්ම සිනමාව තුළ ද චරිත නිරූපනය කළේය.

ඔහු කැකිල්ලේ, උතුරේ රාහුල හිමි, දෙකම එකයි වැනි ජනප්‍රිය වේදිකා නාට්‍යවල චරිත නිරූපනය කළ අතර එදත් චණ්ඩියා, අදත් චණ්ඩියා, ලීඩර් ඇතුළු චිත්‍රපට රැසක ද රංගනයෙන් දායකත්වය දැක්විය.

ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කැලණිය පෙතියාගොඩ සම්බෝධි විද්‍යාලයෙන් ය.

මිය යන විට 75වන වියේ පසුවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

ඔහුගේ දේහය මේ වනවිට ගෝනහේන, වෑබඩ අංක 02 නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ ගෝනහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ඥාතීහු පැවසූහ.