දකුණේ පාතාලය කැළඹෙයි (Watch Report)

දකුණේ පාතාලය කැළඹෙයි (Watch Report)

කර්තෘ Sagarika Chathumali

11 Jan, 2016 | 8:31 pm

අම්බලන්ගොඩ, මාදම්පේ ප්‍රදේශයේ තිබී ඝාතනය කරන ලද තරුණයෙකුගේ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගැනිණ.

මෙම ඝාතනය අම්බලන්ගොඩ, හික්කඩුව හා මීටියාගොඩ ආශ්‍රිතව සිදුවෙමින් ඇති ඝාතන මාලාවක් හා සම්බන්ධ සිදුවීමක් බවට පොලීසිය සැක පළ කරයි.

අම්බලන්ගොඩ, පොනදූව, මාදම්පේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී ඊයේ පස්වරුවේ සොයා ගැණුනු එම මළ සිරුරේ වෙඩි ප්‍රහාර කිහිපයක් දක්නට ලැබිණ.

සිරුර පරීක්ෂා කළ පොලීසිය පැවසුවේ, ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සලකුණු ද දැකගත හැකි බව ය.

මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ පදිංචි 24 හැවිරිදි සුසන්ත මෙන්ඩිස් නමැත්තා බවට පොලීසිය ඊයේ රාත්‍රියේ හඳුනා ගත්තේ ය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා කිසිදු සිදුවීමකට සම්බන්ධ නොමැති  අයෙකු බව ඔහුගේ සොහොයුරා පවසයි.

එහෙත් පොලීසිය පවසන්නේ, මිය ගිය සුසන්ත මෙන්ඩිස් පසුගිය දෙසැම්බර් මස 08 වන දා හික්කඩුව පන්විලදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු බව ය.

පොලීසිය පවසන්නේ පසුගිය වසරේ මාර්තු මස 23 වනදා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය හා මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇතැයි සැක කළ හැකි බව ය.

මනෝජ් මෙන්ඩිස් ඝාතනය සම්බන්ධයෙන් ජනිත් මදුසංඛ ද සිල්වා ‍නොහොත් ‘පොඩි ලැසී’ නමැත්තා මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

පොලීසිය පවසන්නේ මෙම දෙපාර්ශ්වය අතර කලක සිට ඇති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස වරින්වර විවිධ අපරාධ වාර්තා වෙමින් ඇති බව ය.

2008 වසරේ නොවැම්බර් 09 වන දා ‘පොඩි ලැසී’ගේ පියා වන වසන්ත ශාන්ත ද සිල්වා ‍බිරිඳ සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.

මෙම මරණය සිදුව සතියක් ගතවීමටත් පෙර එනම් 2008 වසරේ නොවැම්බර් 16 වන දා රත්ගම ප්‍රාදේශීය සභාවේ එවක සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ සමීපතමයෙකු වූ තරින් ද සිල්වා නමැති ව්‍යාපාරිකයා වෙඩිතබා ඝාතනය කෙරුණේ අලුත්වල ප්‍රදේශයේදී ය.

2011 වසරේ ඔක්තෝම්බර් 10 වනදා සභාපතිවරයාගේ තවත් සමීපතමයෙකු වූ ජනිත් නිශාන්ත නමැත්තාට ‘පොඩි ලැසී’ නමැත්තාගේ පියා ඝාතනයට ලක්වූ ස්ථානය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ඉන් ජනිත් නිශාන්ත තුවාල ලැබූ අතර මෙම සිදුවීමට අදාළව පොලීසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩුවක් ද ගොනු කර තිබේ.

මනෝජ් මෙන්ඩිස් ඝාතනය සිදුවන්නේ මේ පසුබිම තුළදී ය.

මේ අතර පසුගිය 05 වන දා කිසියම් පිරිසක් මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ 5 වන සැකකරු වන මීටියාගොඩ, වේරගොඩ පදිංචි එරංග ලක්ෂාන් නමැත්තාට වෙඩිතබා තිබූ අතර ඉන් ඔහුට හානියක්  සිදු නොවී ය.

ඊට පසු දින තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මනෝජ් මෙන්ඩිස්ගේ හිතවතෙකු බව කියන යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් දසන්ත මෙන්ඩිස් නමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් ඔහු දිවි ගලවා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]