වාහන සඳහා නව වායු විමෝචන ප්‍රමිතීන්

වාහන සඳහා නව වායු විමෝචන ප්‍රමිතීන්

වාහන සඳහා නව වායු විමෝචන ප්‍රමිතීන්

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 7:32 am

වාහන සඳහා වායු විමෝචන නව ප්‍රමිතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි වායු දූෂණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා සඳහන් කළේ, වායු විමෝචන නව ප්‍රමිතීන් පසුගිය වසරේ ගැසට් කළ බව ය.

එය ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරී ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වායු විමෝචන ප්‍රමිති සහතික අරමුදලට බව ද ඔහු පැවසී ය.

නව ප්‍රමිති යටතේ ඩීසල් හා පෙට්‍රල් මගින් ධාවනය වන වාහන සඳහා වෙන් වෙන් වශයෙන් ප්‍රමිතීන් නිකුත් කර තිබේ.

ඒ අනුව ඩීසල් වාහනවල දුම් මට්ටම හෙවත් අවශෝසක සංගුණකය ඒකක 7 සිට 4 දක්වා අඩු කර ඇති බව අනුර ජයතිලක මහතා පැවසී ය.

පෙට්‍රල් මොටර් රථ සඳහා දුමෙහි අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය 4.5 සිට 3 දක්වා අඩු කර ඇති අතර ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා එම ප්‍රමාණය 6 සිට 4 දක්වා අඩු කර තිබේ.

මෙය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ අදාළ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේදී යම් වාහන සංඛ්‍යාවක් දුම් පරීක්ෂණයෙන් අසමත් විය හැකි බව ය.

මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයාගෙන් හා ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව ඔහු සඳහන් කළේ ය.

මෙම ප්‍රමිතීන් අනුව ක්‍රියා කළහොත් ඉදිරියේදී ඇසට පෙනෙන පරිදි කිසිදු දුම් පිට කරන කිසිදු වාහනයක් මාර්ගවල ධාවනය නොවනු ඇති.

පරිසර අමාත්‍යංශය පවසන්නේ, වාහන සංඛ්‍යාවේ ඉහළ යාමත් සමග වායු විමෝචන නව ප්‍රමිතීන් හෙවත් දුම් ප්‍රමිතීන් ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී මෙරට වායු දූෂණය ද ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ය.