ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න අවසන් ගමන් යයි (VIDEO)

ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න අවසන් ගමන් යයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 9:28 pm

ඇඹිලිපිටිය නගරයේ පැවැති සාදයකදී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණ.

මොහු මරණය සිදු වූයේ, ව්‍යාපාරිකයෙකුගේ දියණියක වැඩිවියට පත්වීම වෙනුවෙන් පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකදී ය.

පසුගිය 4 වන දා එම සාදය පැවැත්වුණේ, අදාළ ව්‍යාපාරිකයාට අයත් ඇඹිලිපිටිය නගරයේ මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේදී ය.

ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ, සාදය අතරතුර එම ස්ථානයට පැමිණි පොලීසිය මෙම ගැටුමට මුල් වූ බව ය.

නමුත් පොලීසිය එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

සිද්ධියට අදාළව ජංගම දුරකථනවලින් පිටිගත කළ දර්ශන මේ වන විට facebook ඇතුළු සාමජ ජාල වෙබ් අඩවිවල පළ වී තිබේ.

සිද්ධියත් සමග මතුව ආ ජන විරෝධය මැද ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා නිවාඩු ගන්වා මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අද  මුළු ඇඹිලිපිටිය නගරයේ ම සුදු කොඩි හා බැනර්වලින් පිරී පැවතිණ.

මිය ගිය පුද්ගලයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාව අද පෙත්සමකට අත්සන් තැබුවේ සිද්ධිය සම්බන්ධ පොලිස් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමිනි.

අවමගුල් උත්සවය අතරතුර කළහකාරී තත්ත්වයන් වළක්වා ගන්නා ලෙසට මියගිය පුද්ගලයාගේ ගැබිණි බිරිඳට අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණ.

මෙම සිද්ධියට අදාළව නීති විරෝධි පෙළපාළි හා විරෝධතා තහනම් කරමින් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තවත් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරත ඇත්තේ, හිස් මීනි පෙට්ටියක් හෝ රැගෙන එම විරෝධතා පැවැත්විය නොහැකි බව ය.

අවමගුල් උත්සවය පැවැත්වෙන අතරතුර නගරයේ ආරක්ෂාවට තණමල්විල, තංගල්ල, උඩවලව සහ සියඹලාණ්ඩුව ආදී ප්‍රදේශවලින් පොලිස් විශේෂ කාර්ය බලකායේ 500 දෙනෙකු පමණ කැඳවා තිබිණ.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ප්‍රවිශ්ඨ වන මාර්ගයට ද විශේෂ ආරක්ෂාවක් යොදා තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]