අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ (VIDEO)

අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරය සැමරේ (VIDEO)

කර්තෘ Staff writer

31 Dec, 2015 | 1:14 pm

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහ නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදී තිබේ.

අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහ නා හිමියන් බැහැදැකීමට අද අලුයම වැඩම කළ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නා හිමියෝ උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහ නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සර උත්සවය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කළ අතර ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු සහ විදේශ නියෝජිතයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම සිදු වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙනදී 1915 වසරේ දෙසැම්බර් 31 වන දා ආලෝකමුදියන්සේලාගේ කව්රාල හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යුවලට දාව උපන් කිරිබද්දන මුදියන්සේ 1928 වසරේ මාර්තු 8 වන දා පැවිදි දිවියට පිවිසියේ පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමි නමිනි.

පූජ්‍ය ඌමෑලේ පඤ්ඤානන්ද, පුජ්‍ය ඌමෑලේ පියරතන යන ගුරු හිමිවරුන් ඇසුරෙහි පිරිවෙන් අධ්‍යාපනය හදාරමින් ප්‍රාචීන, ප්‍රාරම්භ සහ මධ්‍යම විභාග ඉහළින් සමත් වූ උන්වහන්සේ රාජකීය පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ නමක් ලෙසින් ප්‍රකට විය.

උගත් වියත් තෙර නමක් ලෙස ඇටම්පිටිය විද්‍යාඥාන පිරිවෙන, හුණුපිටිය ගංගාරාම පිරිවෙන හා මාලඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප්සතර පහදා දුන් උන්වහන්සේ, උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංග සභික ධූරයේ කලක් කටයුතු කළේ ය.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් 2002 වසරේදී අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]