වරකාපොළ රිය අනතුරින් අහිමි වූ ජීවිත ගණන 6 දක්වා ඉහළට (VIDEO)

වරකාපොළ රිය අනතුරින් අහිමි වූ ජීවිත ගණන 6 දක්වා ඉහළට (VIDEO)

කර්තෘ Staff writer

30 Dec, 2015 | 8:12 pm

වරකාපොළ, දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරෙන් අහිමි වූ ජීවිත ගණන 6 දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුර සිදුවුයේ, බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙනි.

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ නගරයට කිලෝමීටරයක පමණ දුරින් අද අලුයම මේ අනතුර සිදුවිය.

පොලීසිය පැවසුවේ, වාහන කිහිපයක් පසුකරමින් වෑන් රථය වැරදි මංතීරුවක ඉදිරියට ධාවනය කිරීමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව ය.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 17 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් හා වයස අවුරුදු 2 ක් පමණ වන දරුවන් දෙදෙනෙකුද වෙති.

අප වාර්තාකරු පැවසුවේ, මියගිය කාන්තාවන් තිදෙනො අතර එකම පවුලේ මව හා දියණියක ද සිටින බව ය.

අනතුරින් තුවාල ලැබූ 23 දෙනෙකු මේ වන විට වරකාපොළ, කෑගල්ල, වතුපිටිවල හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

අනතුරට පත් වෑන් රථයේ පැමිණි පිරිස සමන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබිණ.

බස් රථයේ පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර ඔවුන් පිළියන්දල, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිට සෝමාවතිය චෛත්‍ය වන්දනා කිරීම සඳහා යමින් සිටි පිරිසකි.