මිනිස් ක්‍රියාකාරකම් හා වෙනත් හේතූන් මත කොටීන් වඳ වී යාමේ තර්ජනයකට (VIDEO)

මිනිස් ක්‍රියාකාරකම් හා වෙනත් හේතූන් මත කොටීන් වඳ වී යාමේ තර්ජනයකට (VIDEO)

කර්තෘ Sakila Udayakumara

12 Dec, 2015 | 9:06 am

මිනිස් ක්‍රියාකාරකම් හා වෙනත් හේතූන් මත මෙරට දුර්ලභ ඝණයේ සත්ත්ව කොට්ඨාසයක්‍ වන කොටින් මරණයට පත් වූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

එහි ආසන්නත ම සිදුවීම 10 වන දා වාර්තා වූයේ, ගම්පොළ ප්‍රදේශයෙනි.

අලි මිනිස් ගැටුම තරමට ම මෙම ගැටලුව උග්‍ර වීම කොටීන් වඳ වී යාමේ තර්ජනයකට පවා ලක් කර තිබේ.

බළල් පවුලේ විශාලත ම සත්ත්වයා ලෙස හැඳින්වෙන කොටියා මෙරට බහුලව දක්නට ලැබෙන්නේ වියළි කලාපයේ ය.

1952 වසරේදී ජ්‍යෙෂ්ඨ සත්ත්ව විද්‍යාඥයෙකු වන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා මෙරටට ආවේණික උප විශේෂයක් ලෙස මෙම සත්ත්වයා හඳුන්වනු ලැබී ය.

වනෝද්‍යානවලින් බැහැරව මධ්‍යම කඳුකරයේ ද කොටින් බහුල වීම නිසා කොටින් මිය යෑ‍ම් හා පුද්ගලයින්ට පහර දීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය.

කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව නාවලපිටිය ප්‍ර‍දේශයේදී කාන්තාවක් මිය ගියේ, ඉකුත් වසරේ අගෝස්තු 10 වන ද ය.

නුවරඑළිය, කිකිලියාමාන රක්ෂිතයේ සිටි කොටියෙකු මද්දකට හසු වී මිය ගොස් තිබුණේ, පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

හැටන්, පොයිස්ටන් වත්ත ප්‍රදේශයේදී ද මද්දකට හසු වීමෙන් කොටියෙකු මිය ගිය අතර පසුගියදා කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව හැටන් ලෙදන් ටී වත්තේ පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබූහ.

පසුගිය 10 වන දා පස්වරුවේ ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේදී ද මද්දකට හසු වී කොටියෙකු මිය ගොස් තිබිණි.

පරිසරවේදීන් පවසන්නේ, මධ්‍යම කඳුකරයේ තේ වගා කිරීම සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම ත්, නිවාස ඉදිකිරීම ත් හේතුවෙන් වාසභූමි අහිමි වූ කොටීන් ගම්මාන වෙත පැමිණීම නිසා මෙවැනි තත්ත්වයකට හේතුව බව ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ කොටීන් දැඩි ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් වුව ත් විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති නිසා කොටීන් මිය යාම වර්ධනය වී තිබේ.

වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව 2011 වසරේදී මිය ගිය කොටීන් සංඛ්‍යාව 09කි.

පසුගිය වසරේ හා මේ වසර තුළ කොටීන් 5 දෙනෙකු මි‍ය ගොස් තිබේ.

මේ වසර තුළ ග්වෙස්ලන්ඩ් ටොප්පාස් ජාතික වනෝද්‍යානයේදී කොටියෙකු මිය ගිය අතර , යාල ජාතික වනෝද්‍යානය තුළ කොටීන් දෙදෙනෙක් මිය ගියහ.

රත්නපුරයේ ශ්‍රී පාද අඩවි රක්ෂිතය තුළ කොටියෙකු මිය යාමේ සිද්ධියක් මේ වසරේදී වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, මිනිස් වාසස්ථාන ආශ්‍රිතව දිවි ගෙවන කොටීන් එම ප්‍රදේශ‍වලින් ඉවත් කර වනෝද්‍යානවලට මුදා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ය.