ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘WT‍ 1190 F’ (VIDEO)

ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට ලක් කළ ‘WT‍ 1190 F’ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

12 Nov, 2015 | 6:12 pm

හඳුනා නොගත් ආකාශ වස්තුවක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලෝකයේ ම දැඩි අවධානයක් ශ්‍රී ලංකාව වෙත යොමු ව තිබේ.

‘WT‍ 1190 F’ ලෙස නම් කර ඇති අදාළ අාකාශ වස්තුව සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ ද දැඩි අවධානයක් යොමු වී තිබේ.

මේ පිළිබඳව නිව්ස්ෆස්ට්, මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් විමසීමක් සිදු කළේ ය.

මහාචාර්යවරයා පැවසුවේ, ලබන 13 වන දා එනම් හෙට දිනයේ දකුණු මුහුදට එම ආකාශ වස්තුව කඩා වැටීමේ අවදානමක් ඇති බව ය.

අභ්‍යවකාශයේ සුන්බුන් වූ කැබලි මෙන් ම අකර්මණ්‍ය වූ චන්ද්‍රිකා 2761 ක් ද අභ්‍යවකාශය තුළ ඇති අතර සෙන්ටිමීටරයට වඩා විශාල ප්‍රමාණයේ කැබලි 110,000ක් ද අභ්‍යවකාශය තුළ ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

අභ්‍යවකාශ සුන්බුන්වලට අමතරව පෘථිවියෙන් ඔබ්බට ගොස් පෘථිවිය ත් චන්ද්‍රයා ත් අතර තිබෙන චන්ද්‍රයා දක්වා කක්ෂයක යන සුන්බුන් කැබලි 20ක් මේ වන විට විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ, එම සුන්බුන් කැබලිවලින් එකක් හෙට දිනයේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව ය.

අදාළ සුන්බුන් කැබැල්ල හෙට උදෑසන 11.50ට ගාල්ලට කිලෝමීටර 65ක් දුරින් මුහුදට කඩා වැටෙයි.

මේ අතර හෙට දින අදාළ කාලය තුළ එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ද බලධාරීන් ධීවර ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

මේ වන විට සිදු කර තිබෙන ගණනය කිරීම්වලට අනුව හෙට දිනයේ අදාළ සුනුබුන් කැබැල්ල එම ස්ථානයට පතිත වුවහොත් මින් ඉදිරියට මෙවැනි පතිතවීම්වලට අදාළ තොරතුරු ජනතාවට නිවැරදිව ම ලබා දිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

 

ලබන13 වන දා මෙරට දකුණු මුහුදට කඩා වැටීමේ අවදානම පවතින ‘WT‍F 1190 F’ලෙස හැඳින්වෙන හඳුනා නොගත් අකාශ වස්තුව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න කළ පැහැදිලි කිරීමක්

Posted by Newsfirst.lk on Wednesday, November 11, 2015