– යුග මහා යති – අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණෝ දැයෙන් සමු ගනිති (VIDEO)

– යුග මහා යති – අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණෝ දැයෙන් සමු ගනිති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2015 | 8:18 pm

දශක හයකට අධික කාලයක් මුළුල්ලේ අනුපමේය ශාසනික ජාතික හා සමාජයීය මෙහෙවරක නිරතව පාලක – පාලිත දෙපාර්ශවයටම අනුශාසනා කරමින් බහුතර ජනතාවගේ බුහුමනට පාත්‍ර වූ බුද්ධ පුත්‍රයෙකු ලෙස ලක් ඉතිහාසයට එක් වන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමිපාණෝ අද දැයෙන් සමු ගත්හ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඉරිදා අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය සඳුදා
පස්වරුවේ සිට අද දහවල් 12 දක්වා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ ධර්මශාලා මන්දිරයේ තැන්පත් කර තිබිණ.

අතිවිශාල ජනකායක් නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා නාග විහාරය වෙත පැමිණ සිටියේ දැඩි සංවේගයෙන් යුතුව ය.

අදාහන පූජෝත්සවයේ සංවිධාන කටයුතු සොයා බලා අවශ්‍ය උපෙදස් ලබා දීමට සහ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදත් නාග විහාරයට පැමිණියේ ය.

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය අද පස්වරුවේ රන්සිවි ගෙයි තැන්පත් කෙරුණේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙනි.

පසුව පෙරහැරින් ශ්‍රී දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත වැඩම කළේ, මග දෙපස රැස්ව සිටි ජනතාවගේ නෙත් කඳුළින් තෙමාලමිනි.

ශ්‍රී දේහය රැගත් පෙරහැර පිටකෝට්ටේ මංසන්ධිය, බංගලා හංදිය ඇතුල්කෝට්ටේ මංසන්ධිය බත්තරමුල්ල මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පැමිණියේ ය.

නා හිමි දේහය වැඩම වන රිය පෙරහැර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පිවිසීමෙන් අනතුරුව ආගමික වතාවත් ආරම්භ විය.

එහිදී ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසිනි.

අනතුරුව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශව අමරපුර මහා සංඝ සභාව සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය වෙනුවෙන් මෙහිදී අනුශාසනා පැවැත්විණ.

හිටපු අගරදගුරු ඔස්වල්ගෝමිස් හිමිපාණන් ද අනුශාසනාවක් පැවැත්වීය.

මීට අමතරව සර්ව ආගමික නායකවරු සෝභිත හිමියන්ගේ ගුණ සිහිපත් කරමින් අනුශාසනා කළහ.

මෙහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ශෝක පණිවුඩය, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබී ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෝභිත හිමිපාණන්ගේ ගුණ සිහි කරමින් අවධාණය කළේ, උන් වහන්සේ බලාපොරොත්තු වූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගා සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කළ හැකි සෑම කැපවීමක් සිදු කරන බව ය.

[quote]ඉතා පැහැදිලිවම උන්වහන්සේ තුළ තිබුණා. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව දැඩි අධිෂ්ඨාණයක්. මා ජනාධිපති ධූරයට පත්වූයේ ද උන්වහන්සේ ප්‍රමුඛ ඒ සඳහා කැප වූ සියලු නායකයින්ගේ හා පොදු මහජනතාවගේ මූලික අභිප්‍රාය තුළයි. ඒ නිසා උන්වහන්සේගේ මේ ගෞරවණීය උතුම් දේහය ඉදිරියේ මා සපත කරනවා, උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්න මුළුමහත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගන්න සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා මා විසින් කළ හැකි කළ යුතු සියලු කැපවීම් මම කරන බව [/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]