ජනපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි (VIDEO)

ජනපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි (VIDEO)

කර්තෘ Staff writer

12 Nov, 2015 | 12:48 pm

අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට ලබාදී තිබූ කාලය අද දහවල් 12න් අවසන් විය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු අද පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය වෙත පැමිණියහ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

කෝට්ටේ සිට පාර්ලිමේන්තු ක්‍රිඩාංගණය දක්වා උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් ආදහන පෙරහැර ගමන් ගැනීම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ද එම ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මකයි.

නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරමින් අපවත් වී වදාළ සෝභිත නාහිමියන්ට අවසන් බුහුමන් පුද කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ආදාහන පූජෝත්සවය සඳහා මේ වන විට පාර්ල්මේන්තු ක්‍රීඩාංගණය සකසමින් තිබේ.

ආදාහන පූජෝත්සවයට සහභාගීවන සංඝයා වහන්‍සේ 5000 කට සහ මහජනතාව සඳහා ආසන 5000 ක් බැගින් ආසන 10,000ක් පනවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

ප්‍රදේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා තිබේ.