පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් 6කට එරෙහි විමර්ශන කඩිනම් කරන්නැයි ඉල්ලීමක් (VIDEO)

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් 6කට එරෙහි විමර්ශන කඩිනම් කරන්නැයි ඉල්ලීමක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Oct, 2015 | 8:23 pm

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් 06 දෙනෙකුට එරෙහි විමර්ශන කඩිනම් කරන්නැයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානය පවසන්නේ, පැණි බීම ආනයනකරුවෙකුගේ අනුග්‍රහය යටතේ අදාළ නිලධාරීන් විදෙස් සංචාරයක නිරත වී ඇති බව ය.

ආනයනය කර අලෙවි කරමින් තිබූ පැණි බීම වර්ගයක මත් වන රසායනික කොටස් ඇති බව සඳහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය සමයේ වැටලීම් සිදු කරනු ලැබී ය.

ඒ, පාසැල් රැසක් ආසන්නයේ එම බීම වි‍ශේෂය අලෙවි කිරීමට තබා තිබියදී ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, ඒ සම්බන්ධ පරීක්ෂණ යටපත් වීම හා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 06 දෙනෙකු එකවර නිවාඩු ලබා විදෙස් සංචාරයක නිරත වීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි විමර්ශනය කළ යුතු බව ය.

මේ සම්බන්ධයෙන්‍ චෝදනා එල්ල වන පාරි‍භෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා වර්තමානයේ වෙනත් රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරනු ලබයි.

ඔහුගෙන් අප මේ පිළිබඳව ‍විමසූ අවස්ථාවේ පැවසුවේ, ‍පුද්ගලික වියදමින් එම සංචාරයේ නිරත වූ බව ය.

තමා සංචාරයේ නිරත වූයේ කෙසේදැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ කරුණු දක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

චෝදනා එල්ල වන තව ත් නිලධාරියෙකු වන පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමේදී පැවසුවේ, මෙය තමන් වෙත මඩ ගැසීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ගයක් බව ය.

තමා කළ වැටලීම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව ත් එලෙස අල්ලස් ලබා ගත් බව පැවසෙන ආයතනය කුමක්දැයි නම් ‍කරන ලෙස ත් පැමිණිලි පාර්ශවයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේ ය.