එක්සත් ජාතීන්ගේ හැත්තෑ වසරක මෙහෙවර කොළඹදී ඇගයීමට ලක් වේ (VIDEO)

එක්සත් ජාතීන්ගේ හැත්තෑ වසරක මෙහෙවර කොළඹදී ඇගයීමට ලක් වේ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Oct, 2015 | 7:50 pm

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සබඳතා අද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ ය.

ඒ, එක්සත් ජාතීන් 70 වන සංවත්සරය සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ගෙන වසර 60ක් සම්පූර්ණ වීම ය.

එම අවස්ථාව අද කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී සැමරුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

‘අපේ යූ එන්’ යන අර්ථයෙන් අද ‍එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය සැමරී ය.

1948 නිදහස ලබා ගත් වසරේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් හා විවිධ ආකාරයෙන් සම්බන්ධ වී කටයුතු කර තිබේ.

මෙරට විවිධ වෘත්තිකයින් එම සංවිධානය වෙනුවෙන් ඉටු කර ඇති මෙහෙවර ද සුවිශේෂී ය.

ඒ අතරින් ආචාර්ය ජයන්ත ධනපාල, ආචාර්ය රධිකා කුමාරස්වාමි සහ මහාචාර්ය මොහාන් මුණසිංහ යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය මහ ලේකම්වරුන් ලෙස ද සී.ජී. වීරමන්ත්‍රී මහතා ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

මුහුදු සීමා නීර්ණය කිරීම, න්‍යෂ්ඨික අවි හරණය, ළමා සොල්දාදුවන් ඇතුළු ළමුන් සම්බන්ධ කටයුතු වැනි විවිධ ක්ෂේත්‍රවල මෙරට රාජ්‍ය නායකයින් හා වෘත්තිකයින් එක්සත් ජාතීන්ට දක්වා ඇති සහයෝගය ද සුවිශේෂී ය.

අද කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේදී 70 වන සංවත්සරය සැමරුවේ, එම සබඳතා ද සිහිපත් කරමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කාර්යාල පරිශ්‍රයට පැමිණි පළමු අවස්ථාව ද මෙය වීම තව ත් විශේෂත්වයකි.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 1500කට ආසන්න පිරිසක් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙවරෙහි නිරතව සිටිති.

සේවයේදී මිය ගිය සාමසාධක භටයින් සිහි කරමින් ඔවුන්ගේ පවුල් ඇගයීමට ලක් කිරීම ද අද උත්සවයේදී සිදු විය.

එක්සත් ජාතීන්ගේ සැමරුම් උත්සවය වෙනුවෙන් අද සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]