‘දරුවන්ගේ වෙනුවෙන්’ ජනතාව දැනුවත් කිරීමේ News1st සත්කාරයට උණුසුම් ප්‍රතිචාර (VIDEO)

‘දරුවන්ගේ වෙනුවෙන්’ ජනතාව දැනුවත් කිරීමේ News1st සත්කාරයට උණුසුම් ප්‍රතිචාර (VIDEO)

කර්තෘ Sagarika Chathumali

07 Oct, 2015 | 10:00 pm

දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියාත්මක දරුවන්‍‍ වෙනුවෙන් දැනුවත් කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන අද තෙවන දිනටත් පැවැත්විය.

එය ක්‍රියාත්මක කරන්නේ, News1st, නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය එක්ව ය.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ සියලු පුරවැසියන් දැනුවත් කිරීම උදෙසා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන පසුගිය 5 වන දා උතුරින් සහ දකුණින් ඇරඹිණ.

දකුණින් ඇරඹි වැඩසටහන අද ගමන් ආරම්භ කළේ, හම්බන්තොට නගරයෙනි.

ප්‍රථමයෙන් හම්බන්තොට විද්‍යාලයට ගිය News1st කණ්ඩායම දරුවන් ආරක්ෂා කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳව එහි ගුරුවරුන් දැනුවත් කළේ, ඔවුන් හරහා දරුවන්ගේ මව්පියන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව ය.

අනතුරුව හම්බන්තොට ප්‍රධාන බස් නැවතුම්පොළේදී ද ජනතාව දැනුවත් කෙරුණු අතර නගරය පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණ.

පස්වරුවේ අප කණ්ඩායම වීරවිල, පුංචිපාලම, දෙබරවැව සහ සේනපුර ගම්මානවල ගෙන් ගෙට ගොස් මව්පියන් සහ වැඩිහිටියන් දැනුවත් කළේ ය.

මේ අතර උතුරින් ඇරඹි දැනුවත් කිරීමේ වැඩසටහන අද උදැසන ගමන් ආරම්භ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියසිනි.

ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු නගරය ම ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර ඊට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ යාපනය පොලීසියේ ද සහය හිමි විය.

පසුව, කොට්ටඩි ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් ජනතාව දැනුවත් කෙරිණ.

පස්වරුවේ කුරුනගර් හා චාවකච්චේරි වෙත ගිය අප කණ්ඩායම ක්‍රියාකාරකම් රැසක් මගින් එහි ජනතාව දැනුවත් කළේ ය.