සන්ධාන‍ ජාතික ලැයිස්තුවට එරෙහි නඩුවට අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි (VIDEO)

සන්ධාන‍ ජාතික ලැයිස්තුවට එරෙහි නඩුවට අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි (VIDEO)

කර්තෘ Staff writer

23 Sep, 2015 | 9:06 pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන‍ ජාතික ලැයිස්තුවට එරෙහිව පැවරූ නඩුවට අදාළ වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

සන්ධාන ජාතික ලැයිස්තුට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරයෙකු වන ඩී.ඩී. සෝමවීර චන්ද්‍රසිරි මහතා ය.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාස් මහතා හමුවේ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ එය විභාගයට ගැනීම සඳහා දෙසැම්බර් 11 වන දිනට කල් තබමින් වලඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.

එලෙස නොතීසි නිකුත් කෙ‍රුණේ, මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා, සන්ධානයට අයත් සියලු පක්ෂවල ලේකම්වරුන් හා පරාජයට පත්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාගත් පුද්ගලයින්ට ය.

මේ අතර ජාතික ලැයිස්තුවට එරෙහිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබී ය.

ඒ, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ය.

මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ හැකි බව එහීදි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසූහ.

එහෙත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් තර්ක කළේ, මෙම කාරණය තම සේවාදාකයාට පමණක් අදාළ වූවක් නොවන බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජනතාවට බලපාන කටයුත්තක් හේතුවෙන් පෙත්සම් විභාගය පංච පුද්ගල හෝ සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගත යුත් බව ඔවුන් සඳහන් කළේ ය.

එහිදී විනිසුරු මඩුල්ල කියා සිටියේ, පෙත්සම කිනම් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත යුතු ද යන්න පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ජා කළ යුතු බව ය.

ඒ අනුව ලබන 29 වන දා තෙක් එය කල් තැබිණ.