ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තා ගත ලෙස අවප්‍රමාණය වෙයි (VIDEO)

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තා ගත ලෙස අවප්‍රමාණය වෙයි (VIDEO)

කර්තෘ Staff writer

23 Sep, 2015 | 8:14 pm

විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමෙන් පසු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය මේ වන විට වාර්තා ගත ලෙස අවප්‍රමාණය වී තිබේ.

ඊයේ රුපියල ඉතිහාසයේ ඉහළම අවප්‍රමාණය වාර්තාකරමින් විනිමය වෙළඳපොළේ අමෙරිකානු ඩොලර් 1ක් රුපියල් 141 ක් දක්වා ඉහළ ගියේ ය.

ආනයන ඇතුළු විදේශ ගනුදෙනු සඳහා දිනපතා අවශ්‍යවන ඩොලර් වෙළඳපොළේ හිඟවන විට ඒවා සංචිත තුළින් සපයමින් විනිමය අනුපාතය ස්ථාවර කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වීම සමාන්‍ය ක්‍රියාවළියයි.

තාවකාලිකව එවැනි ක්‍රියාවලියකින් විනිමය අනුපාතය ආරක්ෂාකර ගත්ත ද දීර්ඝ කාලීනව එය සාර්ථක ක්‍රියාදාමයක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය වේ.

පසුගිය 4 වන දා සිට ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අකාරයෙන් මූල්‍ය වෙළඳපොළට කරන මැදිහත්වීමෙන් ඉවත් වී රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැර තිබේ.

ඒ අනුව රුපියල් 135 ක සීමාවේ පැවති ඩොලරයේ අගය මේ වන රුපියල් 142 කට ආසන්න වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලර් 1ක විකුණුම් මිල දැක්වුනේ රුපියල් 142.92 ක් ලෙස ය.

ඩොලරයට සාපේෂව රුපියලේ අගය අවප්‍රමාණයවීම අපනයන ඇතුළු විදේශ විනිමය ඉපයීම් වලට ඇතිකරන්නේ වාසි දායක තත්ත්වයකි.

නමුත් ආනයන ඇතුළු විදේශීය වියදම් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් වාහන, අහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩවල ගණනාවක මිල මේ වන විට ඉහළ ගොස් තිබේ.

පිටකොටුව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කේ.පලනියන්ඩි මහතා ප්‍රකාශ කළේ, රජය සමග අද සාකච්ඡා කිරීමට නියමිතව තිබුන ද එය අවලංගුවීම හේතුවෙන් පවතින විනිමය අනුපාතයන් යටතේ භාණ්ඩ මිල තිරණය කීරීමට කටයුතු කරන බව ය.