කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීම : සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් කෙරේ (VIDEO)

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීම : සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් කෙරේ (VIDEO)

කර්තෘ Staff writer

23 Sep, 2015 | 7:22 pm

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටය රැගෙන ආ සැකකරුවෙකුට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබූ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ය.

සිද්ධිය වූ අවස්ථාවේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවන් දෙනෙකු ද පළා ගොස් තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී, වෙඩි තැබීම සිදුවූයේ අද පෙරවරුවේදී ය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ, බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට රැගෙන එමින් සිටි සැකකරුවෙකි.

අරුණ දමිත් උදයංග නොහොත් සමයන් යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන 29 හැවිරිදි මෙම සැකකරු කඩුවෙල, රණාල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් හා නවගමුවේදී වෙඩි තැබීමේ සිද්ධියක් මත මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණ පරිශ්‍රයේදී සැකකරුට වෙඩි තැබූ පුද්ගලයා පසුව පළා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, වෙලා තිබූ අතක රඳවාගත් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව ය.

කෙසේවෙතත් මෙම සිද්ධියෙන් අධිකරණ කටයුතු වලට බාධා නොවූ බව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ප්‍රථිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ වෙඩිප්‍රහාරයට ලක්වූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.