එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් දකුණු සුඩානයට අනතුරු ඇඟවීම්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් දකුණු සුඩානයට අනතුරු ඇඟවීම්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් දකුණු සුඩානයට අනතුරු ඇඟවීම්

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2015 | 3:15 pm

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක නොකළහොත් දකුණු සුඩානයට එරෙහිව සම්බාධක රැසක් පනවන බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව ප්‍රකාශ කළේ, එරට රජය හා කැරලි නායකයින් අතර අත්සන් තැබුණ සටන් විරාම ගිවිසුම අද සිට ක්‍රියාත්මක වීම‍ට නියමිතව තිබියදී ය.

සටන් විරාමය කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් ඉකුත් බදාදා සටන් විරාම ගිවිසුමට අත්සන් තැබුව ද ඒ පිළිබඳව විශේෂ කොන්දේසි ඉදිරිපත් කළේ ය.

කැරලි නායක රීක් මකා සටන් විරාම ගිවිසුමට අත්සන් තැබූවේ, මීට සතියකට පෙර ය.

මීට පෙර දෙපාර්ශවය අතර අත්සන් තැබුණ සටන් විරාම ගිවිසුම් 7ක් පමණ පැය කිහිපයක් හෝ දින කිහිපයක් තුළ බිඳ වැටිණි.

නව එකඟතාවය යටතේ කැරලිකරුවන්ට උප ජනාධිපති තනතුර පිරිනැමීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම නිසි ලෙස ක්‍රියාත්මක නොක‍ළහොත් දකුණු සුඩානයට එරෙහිව සම්බාධක රැසක් පනවන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩිදුරට‍ත් සඳහන් කරයි.